Header Ads

Breaking News
recent

කොළඹ නගර සභාව බේරේ වැවට කසල මුදා හරී.. පිරිසිදු කරන්න අපහසුයි - නිලධාරීන් අගමැතිට පැමිණිලි කරයි

නතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 09 දින පැවැසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

කාලය සමඟ සටනක නිරතවෙමින් වසර පහක කාලයක් සඳහා ජනතාව බලාපොරොත්තු වූ වැඩ කොටස ඉටු කිරීමට අප මහන්සි විය යුතුයැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ආයතන ප්‍රධානීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා පලපුරුද්දක් සහිත රාජ්‍ය නිලධාරී පිරිසක් අප සතුව සිටින බව කී අග්‍රාමාත්‍යතුමා, සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා මඟහැරවා දීමට තමන් පෞද්ගලිකවම මැදිහත්වන බව පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන හා ඒවායේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

සිය රාජ්‍ය අමාත්‍යංශය යටතේ ආයතන 7ක්  තිබෙන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ අඩංගු සියලුම වගකීම් ඉටු කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක බව සඳහන් කළේය.

කැලණි ගගෙන් උතුරට තිබෙන ඉඩම් අක්කර 400ක් පමණ සංවර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව් ද සොයිසා මහතා පෙන්වා දුන්නේය.

බේරෙ වැව පිරිසිදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක අතර එය අවශ්‍ය තත්ත්වයට ගෙන ඒමේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ කසළ මුදා හැරීමේ ක්‍රියාවලිය යැයි ද හෙතෙම පැවසීය.

ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඔස්සේ දිස්ත්‍රික්ක තුනක කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ කොළඹ පවතින ආකාරයේම ව්‍යායාම මන්ත්‍රීරු සහ ළමා උද්‍යාන සහිත උද්‍යාන 21ක් දිස්ත්‍රික් 21ක් තුළ ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් සිදුවන ස්ථානවලට පළාත් පාලන ආයතනවල නිර්දේශ මත විදුලිය හා ජලය ලබාදීම ගැටලුවක් බව මෙහිදී හෙළිදරව් වූයේය. අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් කරන පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම සඳහා බලාත්මකවන නව නීති රෙගුලාසි නොබෝදිනකින් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව ඇති බව මෙහිදී සඳහන් විය.

මේ අතර වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා රට පුරා වෙරළ වැඩබිම් 22ක් ස්ථාපිත කර ඇත. ඉන් පොතුවිල්, අරුගම්බේ වෙරළ ඛාදනයට සංචාරක කර්මාන්තය ගැන සළකා බලා මෘදු විසඳුමක් දීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි. ඊට අමතරව එම දෙපාර්තමේන්තුව යටතේ යාපනය මනල්කාඩු වැලි කදු වැටිය රක්ෂිත ප්‍රදේශයක් ලෙස ආරක්ෂා කිරීමට නියමිතය.

ප්‍රධාන මාර්ගවල සිට ජනතාවට වෙරළට සමීපවීමට තිබෙන මාර්ග අවහිරවීම වැළැක්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම වෙරළ කලාපයේ ඉදිවන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනුරාධපුරය ඇතුලු ස්ථාන කිහිපයක පසුගිය ආණඩු සමයේ සිට ක්‍රියාත්මක ණය ආධාර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමටත් පෙර එම කාර්ය මණ්ඩල නඩත්තු කිරීමට රුපියල් මිලියන ගණන් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධානය යොමු කළේය.

එම ව්‍යාපෘති සදහා වැය කරන්නේ රටේ මුදල් නිසා ඒවා නාස්තිවීම වැළැක්වීමට සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

උතුරු හා නැගෙනහිර පළාත්වල නැවත පදිංචිවීම් ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මෙහිදී සඳහන් විය. ඒ අනුව එම පදිංචිවීම් අක්‍රමත්බව නිලධාරීන් පෙන්වා දුන්නේය. ඒවා විධිමත් කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

ලෝක බැංකු ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කොළඹ මෙට්‍රො ව්‍යාපෘති 35න් 26ක් මේ වනවිට අවසන් වී තිබේ. ඉතිරි ව්‍යාපෘති 9 මේ වසර අවසන් වීමට පෙර නිමා කිරීමට නියමිතය. එසේම එම ව්‍යාපෘති සඳහා ඉදිරියේ දී දේශීය ඉංජිනේරුවන්ගේ දැනුම යොදා ගැනීමට ද මෙහිදී තීරණය විය.

මෙට්‍රො මාර්ග පද්ධතිය සක්‍රිය කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධානය යොමු කළේය. 2019 වනවිට කොළඹ මගී බස් රථවල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10-15 අතරට පැමිණ ඇති බවත් 2025 වනවිට එම වේගය පැයට කිලෝමීටර් 4-5 දක්වා අඩුවන බවත්, නිලධාරීන් මෙහි දී පැහැදිලි කළේය.

මෙම තත්ත්වය මඟ හැරීම සඳහා  කොළඹට ප්‍රවිශ්ඨ වීම ආවරණය වන පරිදි රාගම, මොරටුව, මාකුඹුර, සහ කඩවත ඔස්සේ ආරම්භ වන මෙට්‍රො දුම්රිය හඳුන්වාදීම තුළින් මෝටර් රථ වාහන තදබදය හේතුවෙන් දිනකට අහිමිවන රුපියල් මිලියන 1000ක පමණ මුදල රුපියල් මිලිය 450 දක්වා අඩුකර ගත හැකි බව මෙහිදී නිලධාරීන් විසින් පැහැදිලි කරන ලදී.  ඒ අනුව වසර 4ක් තුළ ක්‍රියාත්මක කළ හැකි මෙම ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී ඉදිරියේ දී සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් සිරිනිමල් පෙරේරා, අතිරේක ලේකම් ආචාර්ය සුදත් යාලෙගම, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු ඇතුළු අමාත්‍යංශයේ සියලු ආයතන ප්‍රධානීන් හා උසස් නිලධාරින් රැසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


No comments:

Powered by Blogger.