ගිනිගත් නෞකාව නිසා පීඩාවට පත් ලාංකිකයන්ට ඇමෙරිකාව පිහිට වෙයි !
ගිනි ගත් MV X-Press Pearl නෞකාව හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ඩොලර් 100,000ක ආධාරයක් අද (ජූනි 11) දින හිමිව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ, ගිනි ගත් නෞකාව හේතුවෙන් ජීවනෝපාය අහිමිව සිටින පවුල්වලට මෙම ආධාරයෙන් කඩිනම් උපකාරයක් ලැබෙනු ඇති බවත් ඉදිරියේදී මෙම සහය තවත් පුළුල් කරනු ඇති බවත්ය.
මෙම ආධාරය ලබා දී ඇත්තේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ක්‍රියාත්මක කිරීමේ හවුල්කරුවන් හරහා බව එම නිවේදනය සඳහන් කරයි.
"MV X-Press Peral ගින්න හේතුවෙන් ඇති වූ පාරිසරික බලපෑම්වල හානිය අඩු කර ගැනීම සඳහා උපකාර කිරීමට එක්සත් ජනපදය කැපවී සිටිනවා.
කඩිනමින් ලබා දෙන මෙම ආධාරය ජීවනෝපාය උපකාර ලබා දෙමින් දැනට ඇති වෙමින් පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ධීවර ජනතාව සහ ඔවුන්ගේ පවුල්වල අයට හැකියාව ලබා දෙනු ඇති."
යනුවෙන් එක්සත් ජනපද තානාපති කාර්යාල කටයුතු භාර නිලධාරී මාර්ටින් කෙලී මහතා පවසා ඇති බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.


No comments: