ඉදිරියේදී ඉන්ධන මිලේ සංශෝධනයක්.... ශෙඩ් වල තෙල් පෝලිම් ඇති වෙන නිසා දිනය කියන්නේ නෑ – ගම්මන්පිල
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මෙම සංශෝධනය නුදුරු අනාගතයේදීම සිදුකිරීමට තීරණය කර ඇති බවත්, ඒ කවදාද යන්න දැන්ම ප්‍රකාශ කරන්නේ නැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මිල සංශෝධනය සිදුකරන දිනය දැන්ම ප්‍රකාශ නොකරන්නේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුවහොත් එය කොවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන නිසා බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
“ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් අපි මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසා යැයි ද ඇමතිවරයා පැවසීය. නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැතැයි ඇමති ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම නොතිබුණු බව ද ඇමතිවරයා පැවසීය.
වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් වී ඇතැයි කී ඇමතිවරයා ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙන බව ද කීවේය.
ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 300ක් වැයවන බවත්, පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඩයනා උදයංගනී
උපුටා ගැනීම : ලංකාදීප


No comments: