Header Ads

Breaking News
recent

පියතුමන්ලා පසුපස රහස් පොලිසිය පන්නන්න අරන්... පාස්කු වින්දිතයන්ට යුක්තිය නැත්නම් විකල්ප ‌සෙවීම වළක්වන්න බෑ -ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම

පාස්කු ඉරු දින ම්ලේච්ඡ මිනිස් සංහාරයේ සත්‍ය හෙළිකරගැනීමේ වගකීම ආණ්ඩුව පැහැර හරිමින් සිටින බව ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, වින්දිතයින්ට යුක්තිය ඉටු කර රටේ ආරක්ෂාව තහවුරු කර මෙවැනි අපරාධවලට ඉඩ නොතැබීමට මෙය හැරවුම් ලක්ෂයක් කරගත යුතු බවයි.

සැබෑ පාස්කු ඝාතකයින් හෙළි කරන්නැයි ඉල්ලමින් මේ සිද්ධිය කුමන්ත්‍රණයක් යැයි, පවසන සිවිල් සංවිධාන සහ පියතුමන්ලා පසුපස රහස් පොලිසිය එළවමින් සිටින බව ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ වින්දිතයින් උදෙසා නගන හඬ දුර්වල කරන්නට ඇතැම් පිරිස් පිඹුරු පත් සකස් කරමින් විවිධ රඟ දැක්වීම් සිදුකරමින් සිටින බවයි.

යුක්තිය ඉල්ලා හඬ නැගීම වළක්වන්නට උත්සාහ කරන්නේ කාගේ උවමනාවකට දැයි ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම ප්‍රශ්න කර සිටී.

සැබෑ අපරාධකරුවන් පසුපස සිය ආරක්ෂක අංශ නොයවන ආණ්ඩුව ලැජ්ජා සහගත සහ ජනයා කෝප කරවන ක්‍රියාවල යෙදෙමින් සිටින බව පෙන්වාදෙන ඔවුන් සිහිපත්කර ඇත්තේ පාස්කු කොමිසම නඩු පවරන්නැයි, නිර්දේශ කළ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රජයේ උසස් නිලතලවලට පත් කර ඇති බවයි.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුව අපරාධය රටට අමතක වන තුරු කල් මැරීමට සූදානම් වීමක්දැයි කතෝලික ජනමාධ්‍ය කොමිසම ප්‍රශ්න කරයි.

එම කොමිසම සඳහන් කරන්නේ අපරාධකරුවන්ට සැඟවීමට ඉඩ තබා යුක්තිය ඉල්ලන්නන් පසුපස හඹා යන්නේ මෙය වෙනත් සැලසුමක් අනුව කළ දෙයක් නිසා දැයි, ප්‍රශ්නයක් මතු වෙමින් ඇති බවයි.

යුක්තිය හා සාධාරණය පසිඳලීම සඳහා විකල්ප සොයා යාම වැළැක්වීමට නොහැකි බව ද ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම නික්තු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


No comments:

Powered by Blogger.