Header Ads

Breaking News
recent

මෘදුකාංග ඉංජිනේරුවරයා ඖෂධ නියාමන අධිකාරියේ, දත්ත මකා ඇත්තේ ජංගම දුරකථනයෙන් – අලුයම, දත්ත ගබඩාවට ඇතුළු වී ඇති බවටත් හෙළිවේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙලෙස රිමාන්ඩ් කෙරුණේ.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අපරාධය සිදු කර ඇති අකාරයෙහි පවතින සූක්ෂමභාවය සහ විමර්ශණවල සංකීර්ණභාවය සලකාබැලීමේදී වැඩිදුර විමර්ශණ කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බවට හැඟී යන බවයි.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන පවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය ඖෂධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාව මත සැකකරු විසින් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවටයි.

එපික් ටෙක්නොලජි සමාගම විසින් ඖෂධ නියාමන අධිකාරිය සතු දත්ත ගබඩාව පවත්වාගෙන යාමේ කටයුතු ඉටුකර තිබෙනවා.

ඉකුත් ජූලි මස 9 වනදා අදාළ දත්ත ගබඩාව මකා දමා තිබෙන බව අනාවරණ වුණා.

එම දත්ත ගබඩාව ආරක්ෂා කර පවත්වාගෙන යෑම සඳහා රජය විසින් මාසිකව මෙම සමාගමට රුපියල් ලක්ෂ 5 ක මුදලක් වැය කර තිබෙනවා.

මැකී ගිය දත්ත ගබඩාවේ අන්තර්ගත වූයේ වෛද්‍ය  උපකරණ ගෙන්වීමට අදාළ ලේඛන සහ ඖෂධවල සංයුතිය අඩංගු ලේඛනයි.

මෙම දත්ත මැකී යාම නිසා සමාගම්වලින් ආනයනය කරනු ලබන ඖෂධ හා වෛද්‍ය උපකරණවල ප්‍රමිතිය මෙන්ම මිල ගණන් සංශෝධනය කිරීමට නොහැකි ආකාරයේ බරපතල සංකීර්ණ තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේක ඩිජිටල් ත්‍රස්තවාදයක්.

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදයකදී සිදුවන්නේ මිනිස් ජීවිත සහ දේපළ විනාශ කිරීමයි.

එහෙත් ඩිජිටල් ත්‍රස්තවාදයේදී මෙලෙස පරිගණක දත්තවලට ප්‍රවේශවී ඒවා විනාශ කිරීම සිදු කෙරෙනවා යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.


No comments:

Powered by Blogger.