Header Ads

Breaking News
recent

‘ජන මතයට හිස නමනු..’ - GMOA රට පුරා විරෝධතා අරඹයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමණාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීම සහ රට ස්ථාවර කිරීම සඳහා වර්තමාන රජයත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා විපක්ෂ සියළු දේශපාලනඥයනුත් අසමත් වී ඇත.

මේ සම්බන්ධයෙන් විරෝධතාවය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජ කරවූ මර්දනකාරී ආණ්ඩුව ජනමතයට හිස නවනු” යන තේමාව යටතේ රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතියි.

හෙට දිනයේදීද එම විරෝධතාවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සමිති කලින් සැලසුම් කරගත් පරිදි රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී අනෙකුත් වෘත්තීය සමිති විසින් ගෙන යන විරෝධතා සමඟ සහයෝගයෙන් සහ සමගාමීව කටයුතු කිරීමට අපගේ ශාඛා සමිති කටයුතු කරනු ඇත.

මෙම සියළු ජනතාවාදී අරගල වලදී ඊට සහය දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොත වන විට අතිශය පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරමින් වැඩවර්ජනයක නිරත නොවුනද රජයට එරෙහි විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. රජය මෙම විරෝධතා වලට සවන් දීමට සුදානම් නොවන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යමකාරක සභාව තීරණය කරනු ඇත.

එමෙන්ම පවතින අර්බුදයට විසඳුමක් ලෙස ඇති කරනු ලබන ඕනෑම තාවකාලික යාන්ත්‍රණයක (අන්තර්වාර රජයන්/ සභාග රජය/ සර්ව පාක්ෂික ආණ්ඩු) මූලික අවශ්‍යතාවය රට ස්ථාවර කිරීම සහ දූෂණය පිටු දැකීම වන බැවින් සෞඛ්‍ය ඇතුලු කිසිදු ආමාත්‍යාංශයකට දූෂිත හෝ දූෂණ චෝදනා වලට ලක් වූ කිසිදු පුද්ගලයෙක් පත් නොකරන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටින අතර එසේ නොවුනහොත් ජනතා අරගලය සැබෑ විසඳුමක් නොලැබෙනවා මෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ලෙසකින් නොපැකිලෙන බව අවධාරණය කරමු.


No comments:

Powered by Blogger.