Header Ads

Breaking News
recent

එකම පිරිමි ළමයාගෙන් දෙන්නාටම ලියුම් ලැබුණු වෙලාවලුත් තියෙනවා - එකපාරටම අක්කා කවුද, නංගි කවුද කියලා හිතාගන්න බැහැ - අනුෂ්කි සහ කනුෂ්කි කියන | Anushki & Kanushki

එකම පිරිමි ළමයාගෙන් දෙන්නාටම ලියුම් ලැබුණු වෙලාවලුත් තියෙනවා
එකපාරටම අක්කා කවුද, නංගි කවුද කියලා හිතාගන්න බැහැ - අනුෂ්කි  සහ කනුෂ්කි කියන

වසරක් ගෙවී නව වසරක් උදාවෙන මොහොතේ සිරිකත හැඩ කරන්න ඔබ ආදරය කරන එක වගේ තරු යුවළක් අපත් සමග එකතු වුණා. මේ තමයි මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ හමුවෙන නිල් නෙතු සහ පිනිමුතු.

නිවුන් සහෝදරියන් වන අනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි සසුරිකා ප්‍රේමචන්ද්‍ර මියුසික් වීඩියෝ සහ ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ විශාල රසික පිරිසකගේ ආකර්ෂණය දිනා ගත් දෙපළක්. අනුෂ්කි සහ කනුෂ්කි අක්කා නගෝ අපේ කතාබහට එකතු වුණේ මේ විදියට.අනුෂ්කි 2023 නව වසර කොහොමද?

නංගිටයි මටයි මේ අලුත් අවුරුද්දේ බලාපොරොත්තු නම් හුඟක් තියෙනවා. ඩාන්සින් ස්ටුඩියෝ එකක් පටන් ගන්න පුංචි කාලේ ඉඳලා අපි දෙන්නට ලොකු හීනයක් තිබුණා. ඒ හීනය 2023 සැබෑ වෙන්නයි යන්නේ. මේ දවස්වල ස්ටුඩියෝ එකේ වැඩ වෙනුවෙන් අපි දෙන්නා මහන්සි වෙනවා.

කලාවේ ආරම්භය පටන් ගත්තේ ටික්ටෝක් වලින්ද?

ඇත්තටම අපි දෙන්නාගේ අරමුණ සහ එකම හීනය නර්තන ශිල්පිනියන් දෙපළක් වෙන එක. ඒ අතරතුරදි වාසනාවත් එක්ක ලැබුණු දෙයක් රඟපෑම. ඒ හැමදේකටම මූලික වෙන්නේ අපි කරපු ටික්ටොක් වීඩියෝ කිපයක්. ඉස්සර අපි දෙන්නාට කියලා ටික්ටොක් ගිණුමක් තිබුණේ නැහැ. අපි දෙන්නා යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කළා. ඒ කාලෙදි තමයි අපි ටික්ටොක් ගිණුමක් පටන් ගත්තේ. රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ අහම්බෙන්. මුලින්ම හෂාන් රුක්ෂාන් අයියා ‘සින්’ කියන ටෙලි නාට්‍යයකට නිවුන් සහෝදරියන්ගේ චරිත දෙකකට කතා කළා. ඒ ගැන කිසිම දැනුමක් නැති නිසා අපි දෙන්නා ඒ වෙලාවේ රඟපාන්න බය වුණා. අපි දෙන්නා පොඩි කාලේ ඉදලා කළේ නර්තනය. රඟපෑම අපි දෙන්නාට අලුත්. හරියන්න හරි වරදින්න හරි කියලා අන්තිමට ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒ අතරතුර මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයට නිවුන් සහෝදරියන් දෙන්නෙක් හොයනවා කියලා එහි අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මහතා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා තිබිලා. අපේ ලොකු අක්කා තමයි ඒක දැකලා අයදුම් කරලා තිබුණේ. මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයට අපි තිර පරීක්ෂණයට ගිය දවසේ නිවුන් සහෝදරියන් හුඟදෙනෙක් ඇවිත් හිටියා. එතැනින් තිර පරීක්ෂණය සමත් කියලා තුෂාර සර් ඇතුළු කණ්ඩායම අපි දෙන්නාට කිව්වා. අපි දෙන්නාගේ නර්තන හැකියාව නිල්නෙතු සහ පිනිමුතු චරිත දෙක ලැබෙන්න විශේෂ හේතුවක් වුණා.

පිනිමුතු සහ නිල්නෙතු කියන්නේ සැබෑ ජීවිතයේදීත් සමීප චරිත දෙකක්ද?


ටෙලි නාට්‍යයේ පවුල් පරිසරය ඇතුළේ සිදුවෙන යම් යම් සිදුවීම් හැරුණාම නිල්නෙතු සහ පිනිමුතු මටයි නංගිටයි සමීප චරිත දෙකක්. අපි දෙන්නාටම මේ චරිත දෙකේදී මුහුණ දෙන්න වුණු ලොකුම අභියෝගය තමයි ටෙලි නාට්‍යයේ පියාගේ චරිතය සමග ගනුදෙනු කිරීම. පියා සහ දුව අතර තිබෙන බැඳීම, ගනුදෙනුව මොකක්ද කියලාවත් අපි දෙන්නා දන්නේ නෑ.

අපේ තාත්තා නැතිවෙනකොට නංගිටයි මටයි අවුරුදු එකහමාරයි. ඒ නිසා බහතෝරන කාලේ පටන් අපි දෙන්නාගේ කටින් ‘තාත්තා’ කියන වචනය පිටවෙලා නැහැ. ඒ හැම අභියෝගයකටම ලොකු ශක්තියක්, අවබෝධයක් දුන්නේ තුෂාර සර්. ඒවාගේම ලක්සිරි සර්

උසස් අධ්‍යාපනය හදාරනවාද?

ඔව්. නංගියි මමයි දෙන්නාම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගන්නවා. අපි දෙන්නාට පුංචි කාලේ ඉඳලා තිබුණේ අරමුණු දෙකයි. එකක් ඩාන්සින් ස්ටුඩියෝ එකක් ආරම්භ කරන්න. අනික නර්තනය පැත්තෙන් දවසක කථිකාචාර්යවරියන් දෙපළක් වෙන්න. ඉන් එක හීනයක් මේ වසරේ හැබෑවෙනවා. අනෙක් හීනය වෙනුවෙන් අවශ්‍ය කැපකිරීම් කරමින් සිටිනවා.

අපි ඊළඟට හැරුණෙ නංගි ‘කනුෂ්කි’ ගේ පැත්තට...

අක්කා නංගි පටලැවිල්ල ලිහාගන්නේ කොහොමද?

අපි දෙන්නා පිටිපස්ස හැරිලා ඉන්නකොට ගෙදර අයටත් අපිව පැටලෙනවා. දෙන්නාව පැටලිලා එකම පිරිමි ළමයාගෙන් දෙන්නාටම ලියුම් ලැබුණු වෙලාවලුත් තියෙනවා. අපි දෙන්නාගේ මුහුණ බැලුවත් එකපාරටම අක්කා කවුද, නංගි කවුද කියලා හිතාගන්න බැහැ. කට්ටිය පටලවා ගන්න කලින් අනු කවුද කනු කවුද කියලා අපි කියනවා.

ඉස්කෝලේ කාලෙදි හරි ජොලි වැඩ අපි දෙන්නාට වෙලා තියෙනවා. අක්කාගේ පිටිපස්සේ යන පිරිමි ළමයි අක්කා කියලා හිතාගෙන මගේ පස්සෙනුත් ඇවිත් තියෙනවා. තව දවසක් O/L කාලෙදි පිරිමි ළමයෙක් මට ලියපු ලියුමක් වැරදිලා අක්කාට දීලා. තාමත් හුඟක් අයට අපි දෙන්නාව පැටලෙනවා.

දෙන්නාගේ පාසල කොහෙද?


මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය. අක්කාගෙයි මගෙයි ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කළේ පාසලෙන්. නර්තනයට ජීවය දුන්නේ පාසල.

මේ වෙනකොට අක්කා නගෝ පෙම්වතියන්ද?

අනේ නැහැ....අපි දෙන්නාට තාම අවුරුදු 22 යි. කවදාහරි දවසක අපි දෙන්නා විවාහ වෙන්න තෝරා ගන්නෙත් ටුවින්ස්ල ම තමයි. අපේ අම්මාත් ඒකට කැමැතියි.

අපි අම්මා ගැනත් වචනයක් කියමු.


අපේ පවුලේ ගැහැනු දරුවෝම හයදෙනෙක්. අපේ අම්මා හරිම ධෛර්යවන්ත කාන්තාවක්. තාත්තා නැති වූ දා පටන් මුළු ජීවිතේම අපි හයදෙනා වෙනුවෙන් කැප කළා. අපි දෙන්නා තාත්තාව දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයි. ජීවිතේ පුරවන්න බැරි එකම දේ තාත්තාගේ අඩුව වුණත් අපිට කවදාවත් තාන්තා නැති අඩුව අම්මා දැනෙන්න ඉඩදීලා නැහැ. කොයිතරම් ආර්ථික අපහසුතා තිබුණත් අපි හයදෙනාටම හොඳට ඉගැන්නුවා. අපි ඉස්සර බයයි අසනිප වෙන්න. එහෙම වුණොත් අම්මාට කරදරයි. මහත්තයාත් නැතුව ගැහැනු දරුවෝ හයදෙනෙක් එක්ක මේ සමාජයේ හැප්පෙනවා කියන්නේ ලේසි නැහැ. අපේ අම්මාට තියෙන ධෛර්යවන්තකම ඇත්තටම අපිට නැහැ. අම්මා අපිට උගන්වන්න, අපිව උස්මහත් කරන්න විඳපු දුක අපි දැක්කා. අපි හයදෙනාටම ඕනැ වුණේ ඇයව කවදා හරි දවසක රැජිනක් වගේ තියන්න. දැන් අපේ අම්මාව සතුටින් තියන්න අපි දෙන්නට වුනත් පුළුවන්.

නදීශා අතුකෝරළ

No comments:

Powered by Blogger.