ප්‍රසිද්ධ ස්ථානවලදී පොලිස් ක්‍රියාකාරම් වීඩියෝ කරන සිවිල් පුද්ගලයින් වැලැක්වීම පොලිසියට තහනම් කරමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!
පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවත්, එවැනි වීඩියෝ කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවත් දන්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඊයේ(30) දින වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව RTM924 සහ CRTM762 දරන මෙම චක්‍රලේඛය දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති අතර එම චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ සංස්කරණය නොකළ වීඩියෝ හඬ පට අධිකරණයකදි සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින් පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවය.
එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, සංස්කරණය කළ වීඩියෝ පට පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සමාජගත කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවය.
මෙම චක්‍රලේඛය නිකුත් කරන්නට ප්‍රථම පොලිසියේ ඉහළම නිලධාරීන් අතර ඇති වූ කථිකාවක් පිළිබඳ හෙළිදරවු කරන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වීඩියෝ පටයක් නිකුත්කරමින් කියා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝ කළ මාධ්‍යවේදියා සම්බන්ධව පොලිසියේ හැසිරීමත්, ලොහාන් රත්වත්තගේ ආයුධ සහිත වාහනය අත් අඩංගුවට ගත් පසු එය ම අවස්ථාව වීඩියෝගත කල තරුණයා සම්බන්ධව පොලිසියේ හැසිරීමත් නිසා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ප්‍රසිද්ධ ස්ථානවල පොලිස් හැසිරීම් වීඩියෝගත කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බවය.
මේ ප්‍රශ්නකිරීම් දිගටම සිදුවෙද්දී වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව කළ සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව හැරුණු විට බොහෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙය කිසිම නෛතික වරදක් නොවන බවත්, එවැනි ඉඩකඩක් සැපයීමෙන් පොලිසියේ විනයානුකූල පැවැත්ම සමාජය තුළ තහවුරු කළ හැකි බවත් පෙන්වා දී ඇතැයි වාර්තා වී තිබේ. එමෙන්ම මෙම නිලධාරින්ගේ අදහස වී ඇත්තේ යම් වීඩියෝ කිරීමට බාධා කරන බහුතරයක් නිලධාරීන් විනය විරෝධි කටයුතුවලට නැඹුරු වූවන් බවය.
හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිසියේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මෙම ජනතා මැදිහත්වීමේ සාධනීය බව පිළිබඳ සංවාදයක් ගොඩනගා ඇතැයි ද මේ දීර්ඝ සංවාදයෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් උක්ත චක්‍රලේඛය නිකුත් කර ඇතැයි ද හෙළිදරවු වී ඇත.
No comments: