පාතාල රජු වෙන්න ඩුබායි නිපුන සේදවත්ත කසුන් මාරක සටනේ!
ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය බුදුපිළිමය අසල රැඳී සිටින තරුණයන් දෙදෙනෙකි. ඉන් එක් අයකු නිපුන ලක්ෂිත හෙවත් කොටියාය. අනෙකා ශාන් අහමඩ්ය. කිසියම් චකිතයකින් සිටි තරුණයන් දෙදෙනා ජනාකීර්ණ මාර්ගය දෙස විපරම් කරමින් සිටියේ කිසිවකුගේ හෝ පැමිණීමක් බලාපොරොත්තුවෙන්ය.
“ධනුෂ්කයා තාම නැහැනේ. මෙතැන ඉන්න එක ඩේන්ජර්. ඩුබායි නිපුනගේ උන් හැම තැනම කැරකෙනවා. මං කෝකටත් පික්මී එකක් දැම්මා. නිපුන ලක්ෂිත සිය සගයාට කීවේය.
“අතේ සතයක් නැති නිසා මං ධනුෂ්කගෙන් සල්ලි ටිකක් ඉල්ලුවා. මම ඌව අඳුන ගත්තේ වැලිකඩ ප්‍රිසන් එකේදී. හොඳ කොල්ලෙක්. මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඌ බිස්නස් එකේ ඉන්න නිසා (කුඩු ව්‍යාපාරයේ) අතේ නිතරම සල්ලි තියෙනවා. අතමාරුවකට ඕනෙ වෙලාවක මට සල්ලි දෙනවා. නිපුන ලක්ෂිත සිය මිතුරකු වූ ධනුෂ්කගේ ගුණ වයන්න වුණේය.
නිපුනට අහමඩ්ට වෙඩිවරුසාවක්…
ඒ සමගම ඉඟුරු කඩේ හන්දිය දෙස සිට වේගයෙන් ආ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් නිපුන ලක්ෂිත සහ ශාන් අහමඩ් ආසන්නයේ නතර කළේය. නිපුන සිතුවේ තම මිතුරා වූ ධනුෂ්ක මුදල් රැගෙන පැමිණෙනවා කියාය. එහෙත් සිදු වූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. යතුරුපැදිය පිටුපස සිටි පුද්ගලයා එකවරම නිපුන සහ අහමඩ් දෙසට පිස්තෝලයක් එල්ල කර පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේය.
අනපේක්ෂිත මොහොතක එල්ල වූ ප්‍රහාරයෙන් අන්දමන්ද වූ නිපුන ලක්ෂිත සහ ශාන් අහමඩ් දිවි ගලවා ගන්නට මරු විකලයෙන් මෙන් දිව යන්නට වූහ. එහෙත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනාම වෙඩි ප්රහාරයන්ට ලක්ව සිටියහ. ප්‍රහාරය එල්ල කළ පාතාල කුලී ඝාතකයන් දෙදෙනා අඳුරේම නොපෙනී ගියහ.
වෙඩි ප්‍රහාරවලින් නිපුන ලක්ෂාන් මෙන්ම ශාන් අහමඩ් තුවලා ලබා සිටි අතර ඔවුන් ප්‍රදේශවාසීන් විසින් වහාම කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියහ.
මොකක්දෝ පෙර පිනකට නිපුන ලක්ෂිත සහ ශාන් අහමඩ්ට මරණීය තුවාල තිබුණේ නැත. ඔවුන් දෙදෙනාටම ජීවත් වීමේ වාසනාව තවදුරටත් උරුමව තිබුණහ. කෙසේ වෙතත් කිසියම් පුද්ගලයකු මරා දමනවිට ඇතිවන මරණ බිය මේ දෙදෙනාටම ඒ වනවිට හොඳටම දැනුණු බව නම් නිසැකය. ග්‍රෑන්ඩ්පාස්, මෝදර, තොටළඟ, බ්ලූමෙන්ඩල් ප්‍රදේශ කේන්ද්‍ර කරගත් පාතාලය ඒ වනවිට උණුසුම් වෙමින් තිබුණේය. ප්‍රහාරයට ලක්වූ නිපුන ලක්ෂිත හෙවත් කොටියා සහ ශාන් අහමඩ් ඩුබායි නිපුන නමින් හඳුන්වන පාතාල මැරයාගේ සමීප ගෝලයන්ය.
පොලිසිය පවසන අන්දමට මේ ප්‍රහාරය එල්ල කරන්නේ සේදවත්තේ කසුන්ගේ නියෝග මත ඔහුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින්ය.
මේ ප්‍රහාරය කාලාන්තරයක් තිස්සේ ඩුබායි නිපුනගේ කල්ලිය සහ සේදවත්තේ කසුන්ගේ කල්ලිය අතර මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල බලය බෙදා ගැනීම සඳහා වන සටනේ ප්‍රතිඵලයක් වන්නේය. ඩුබායි නිපුන මෙන්ම සේදවත්තේ කසුන් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. කොහෙවත් නැති පාතාල මැරයන් දෙදෙනකු රජකර වීමට ග්‍රෑන්ඩ්පාස් මෝදර තොටළඟ සිටින උන්ගේ සහචරයන් ගණනාවක් මේ වනවිට ජීවිතවලින් වන්දි ගෙවා හමාරය.
කල්ලි දෙකට බෙදුන පාතාලය
මෝදර ග්‍රෑන්ඩ්පාස්, තොටළඟ බ්ලූමෙන්ඩල්, කොටහේන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ගොඩනැඟුණු පාතාල රාජධානියේ කෙළිකාරයන් ලෙස කූප්‍රකටව සිටියේ ඩුබායි නිපුන රජමල්වත්තේ චාමර, රූබන්, ලාල්, සේදවත්තේ කසුන්, වැල්ලේ සාරංග නමැති මැරයන්ය. කාලයක් තිස්සේ එකම පාතාල කල්ලියක සාමාජිකයන්ව සිටි මේ පාපතරයන් පිරිස පසු කලෙක බෙදී වෙන්වී වෙනම පාතාල කල්ලි දෙකක් බවට පත් වන්නේය.
ඒ ගණේමුල්ලේ සංජීව නමැති පාතාල මැරයා මේ කල්ලියට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙසය.
ගණේමුල්ලේ සංජීවගේ ආගමනයත් සමගම රජමල්වත්තේ චාමර, ඩුබායි නිපුන ඇතුළු පාතාල මැරයන් පිරිසක් ඔහු සමග සහසම්බන්ධයක් ගොඩනඟා ගත්හ.
ගණේමුල්ලේ සංජීවගේ පැමිණීම නොරිස්සූ සේවත්තේ කසුන්, වැල්ලේ සාරංග, රූබන් ලාල් ඇතුළු පිරිසක් වෙනම පාතාල කල්ලියක් බිහි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම තමන්ට රිසිසේ කරගෙන යන්නට පටන් ගත්හ.
මේ කල්ලි දෙක අතර ගැටුම් ඇති වන්නට පටන් ගත්තේ එතැන් සිටය. එකම පාතාල බල ප්‍රදේශයක කල්ලි දෙකක් සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යෑම ගැටුම උත්සන්න වන්නට හේතු විය.
“ගණේමුල්ලේ සංජීව එක්ක සෙට් වුණාම උන් හිතාගෙන ඉන්නේ හරි ලොකු දෙයක් කියලා. අපට ඔය ලොකු සීන් අල්ලන්නේ නෑනෙ. අපේ බිස්නස්වලට ඇඟිලි ගහන්න ආවොත් මොකා වුණත් බාවනවා. සේදවත්තේ කසුන් සිය ප්‍රතිවාදීන්ට තර්ජනය කළේය. කාලයක් අඹයාළුවන් මෙන් එකට සිටි මේ පාතාල මැරයන් ඒ වනවිට බද්ධ වෛරකාරයන් බවට පත්ව සිටියහ. වැල්ලේ සාරංග ද මේ වනවිට මෝදර පාතාලයේ කෙරුමකු බවට පත්ව සිටියේය.
වැල්ලේ සාරංගගෙන් නිපුනගේ සගයන්ට තර්ජන…
වැල්ලේ සාරංග සිය ප්‍රතිවාදීන්ට දිගින් දිගට ම දුරකථනයෙන් කථා කර තර්ජනය කරන්න වුණේය. තම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අත නොතබනු යැයි කියමින් ඔහු ඩුබායි නිපුනගේ සගයන්ට දිගින් දිගටම තර්ජනය කරන්න පටන් ගත්තේය.
රජමල්වත්තේ චාමරටයි, ඩුබායි නිපුනටයි උණ ගැනෙන්න තමයි උඹලට දෙන්නේ. කපනවා තොපිව කොණක ඉඳලා. ඒ නිසා අපි කරන වැඩවලටවත්, අපේ බිස්නස්වලටවත් අත තියන්න ඇඟිලි ගහන්න එන්න එපා…”
වැල්ලේ සාරංග, ඩුබායි නිපුනගේ ගෝලබාලයන්ට දුරකථන මාර්ගයෙන් තර්ජනය කළේය.
චාමරටයි නිපුනටයි රිදෙන්න හොඳ ගේමක් දෙන්න ඕනේ. එහෙම නොකළොත් උන් ඔළුව උස්සනවා. ඒ නිසා උන්ට උණ ගැනෙන්න ගේමක් ගහන්න ඕනේ.
චාමරගේ සහෝදරයකුට වෙඩි…
සේදවත්තේ කසුන් සිය පාතාල සගයන්ට කීවේය. ඔවුන් රජමල්වත්තේ චාමරගේ සමීපතමයකු ඝාතනය කිරීමට පිඹුරුපත් සකස් කරන්න වූවෝය. වැඩි දවසක් ගත වුණේ නැත. රජමල්වත්තේ චාමරගේ ඥාති සහෝදරයකු වෙඩි තබා ඝාතනය කිරීමට සේදවත්තේ කසුන්ගේ ගෝලයන්ට හැකි වූහ. මේ ඝාතනය ඇසීමෙන් රජමල්වත්තේ චාමර යක්ෂාරූඪ වුණේය.
උන් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. උන් දන්නේ නැහැ මේ චාමරයගේ හැටි. උන්ට ගෑවිච්ච ගෑවිච්ච උන් සේරම පරලොව යවනවා.
චාමර කෝපයෙන් කෑ ගැසුවේය. එතැන් සිට ලෙයට ලෙයින් පළි ගැනීමේ සටන ආරම්භ වුණේය.
ඇලකන්දේ තියෙනවා සේවත්තේ කසුන්ට අයිති රෙස්ට්ටොරන්ට් එකක්. ඕකට පැනලා කුඩු කරලා දාලා එතැන ඉන්න උගේ ගෝලයෙක් දෙන්නෙක් නොඑන ගමන් යවන්න ඕනේ. එතකොට කසුන දැන ගනියි අපි කවුද අපිට මොනවද කරන්න පුළුවන් කියලා….
රජමල්වත්තේ චාමර මෝදර සිටිය සිය පාතාල ගෝලබාලයන්ට කීවේය. ඇලකන්දේ පිහිටි සේදවත්තේ කසුන්ට අයත් අවන්හල පිළිබඳව සියලු තොරතුරු සොයාගත් චාමරගේ පාතාල අළුගෝසුවන් ඊට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළෝය.
මේ ප්‍රහාරය සඳහා නිපුන ලක්ෂාන් හෙවත් කොටියා ද සම්බන්ධ වුණේය. නාගලගම්වීදියේ දී ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබන්නේ කොටියා නමින් හැඳින්වූ මේ පුද්ගලයාය.
ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ එක්තරා දිනකදී චාමරගේ පාතාල සගයන් සේදවත්තේ කසුන්ට අයත් ඇලකන්දේ පිහිටි අවන්හලට කඩා වදින්නේ මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න කියා තිබියදීය.
ඒ වනවිට අවන්හලේ කිසිවකුත් සිටියේ නැත. එහි සිටි එකම පුද්ගලයා වූයේ අවුරුදු 67ක් වයසැති අහිංසක ආරක්ෂක නිලධාරියා පමණය. මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මේ ආරක්ෂක නිලධාරියා අවන්හලේ රැකියාව සඳහා පැමිණ ඇත්තේ ද එදිනමය. මේ පාතාල ගැටුම ගැන මෙලෝ සංසාරයක් නොදැන සිටි මේ අහිංසක මනුස්සයා චාමරගේ පාතාල මැරයන්ගේ කඩුපහරයන්ට ලක් වුණේය.
අවසානයේ කොහෙවත් නැති පාතාල මැරයන්ගේ වෛරයකට මේ අහිංසක මනුස්සයාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබුණේය. තම අවන්හලට කඩා වැදී එහි සිටි ආරක්ෂක නිලධාරියා කපා කොටා ඝාතනය කර දේපොළවලටද හානි කළල පාතාල මැරයන් සොයා රජමල්වත්තේ සේදවත්තේ කසුන් යකා නටන්න පටන් ගත්තේය.
සේවත්තේ කසුන් පළි ගත්ත හැටි…
“කාලකණ්ණි අර අහිංසක වයසක මනුස්සය මැරුවේ මගෙන් පළි ගන්නද උන්ට මේවට වන්දි ගෙවන්න වෙයි. මේවට ගෑවිච්ච ගෑවිච්ච එවුන් සේරම බාවනවා. චාමරයටයි නිපුනයටයි උණ ගැනෙන්න වැඩක් දෙනවා”
සේදවත්තේ කසුන් සිය ගෝලබාලයන් යොදවා චාමරගේ ගෝලයන් පරලොව යැවීමට සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේය.
අවන්හලේ ආරක්ෂක නිලධාරියා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ නිපුන ලක්ෂිත හෙවත් කොටියා ඇතුළු පාතාල මැරයන් කීපදෙනකු බන්ධනාගාර ගතකෙරිණි. කොටියාට ධනුෂ්කව දැන හඳුනා ගන්නට ලැබෙන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළදීය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි ධනුෂ්ක කලක් සේදවත්තේ කසුන්ගේ කල්ලියේ සමීපතමයකු ලෙස කටයුතු කරමින් සිටියේය. එහෙත් පසු කලෙක ධනුෂ්ක ඩුබායි නිපුනගේ කල්ලිය සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නට පටන් ගත්තේය. නිපුන ලක්ෂිත හෙවත් කොටියා මේ බව දැන සිටියේ නැත. ඔහු සිතා සිටියේ ධනුෂ්ක තවමත් සේවත්තේ කසුන්ගේ පාර්ශ්වයට සමීපතමයකු කියාය.
ඇප ලබාගැනීමෙන් පසු කොටියා එහෙමත් නැත්නම් නිපුන ලක්ෂිත ආපහු මෝදරට ආවේය. තමන් සේදවත්තේ කසුන්ගේ උදහසට ලක්ව සිටින බව කොටියා හොඳින් දැන සිටියේය. ඒ නිසාම ඔහු වැඩිපුර එළිපහළියට ආවේ නැත. තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට ඔහු ඉතාම රහසිගත ජීවිතයක් ගත කරන්නට පුරුදුව සිටියේය.
කසුන්ගේ සෙට් එක කොයි වෙලාවේ හරි මාව මරලා දානවා. උන් ලොකු වෛරයකින් ඉන්නේ මාත් එක්ක. තම ජීවිතය අවදානමක තිබෙන බව කසුන් ලක්ෂිත හෙවත් කොටියා සිය සමීපතමයන්ට කියා තිබුණේය.
ඇලකන්දේ අවන්හලට පහර දී එහි ආරක්ෂකයා මරා දැමීමේ වෛරය පිරිමසා ගන්නට කාලය එළැඹ ඇති බව සේදවත්තේ කසුන් සිතුවේය. ප්‍රහාරයට සම්බන්ධ වූ කොටියා පරලොව යැවීම කසුන්ගේ එකම අරමුණ විය. තම කල්ලියේ සමීපතමයකු වන ධනුෂ්ක කසුන් ලක්ෂිත හෙවත් කොටියාගේ මිතුරකු බව දැනගත් සේදවත්තේ කසුන් මේ ප්‍රහාරය සඳහා ඔහුගේ සහාය ලබාගන්නට තීරණය කළේය.
“කොටියව මම අඳුනගත්තේ වැලිකඩදී. ඒකා හිතන් ඉන්නේ මං කසුන්ගේ සෙට් එකේ කියලා. ඌ මට සේරම විස්තර කියනවා. මේ දවස්වල ඌ ඩවුන් ගිහින් ඉන්නේ. මට පුළුවන් ඌව සෙට් කරලා දෙන්න. ධනුෂ්ක සේදවත්තේ කසුන්ට කීවේය.
ඒ අනුව කොටියා කිසියම් ස්ථානයකට ගෙන්වා ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට සේදවත්තේ කසුන් සැලසුම් කළේය. ඒ සඳහා ධනුෂ්කගේ සහාය ද ලබාගත්තේය. ප්‍රහාරය සඳහා කුලී ඝාතකයන් දෙදෙනෙක් සම්බන්ධ කරගත් කසුන් ඔත්තු බැලීම සඳහා ද සිය කල්ලියේම ගෝල බාලයන් දෙදෙනෙක් එක් කර ගත්තේය.
කොටියා අතේ සතේ නැතිව ඉන්නේ. ඌ මට නිතරම කතා කරලා සල්ලි ඉල්ලනවා. මම ඌව කොහොම හරි ගෙන්න ගන්නව. ඉතුරු වැඩ ටික කසුන් අයියා බලා ගන්න.
ධනුෂ්ක සේදවත්තේ කසුන්ට දුරකථනයෙන් කීවේය. කොටියා ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය බුදුපිළිමය අසලට ගෙන්වා ගන්නට කටයුතු කරන්නේ ධනුෂ්ක විසින්ය. එහෙත් සේදවත්තේ කසුන් සැලසුම් කළ ආකාරයට තම ඉලක්කය සපුරා ගන්නට කුලී ඝාතකයන්ට හැකි වුණේ නැත. කොටියා මෙන්ම ඔහුගේ සගයා ද අනූනවයෙන් දිවි ගලවා ගත්තේය.
කෙසේ වෙතත් සේදවත්තේ කසුන්ගේ කල්ලිය සහ ඩුබායි නිපුනගේ කල්ලිය අතර ඇතිවී තිබෙන මේ බද්ධ වෛරය නිම වන්නේ නැත. හෙට දිනයේ ද මේ පාතාල මැරයන් වෙනුවෙන් උන්ගේ ගෝලයන් ජීවිත පූජා කරනු ඇත. ඩුබායි රාජ්‍යයට වී මේ පාතාල නායකයන් සුර සැප විඳිද්දී උන්ගේ දන්කුඩ කන කුඩු පැකට්ටුවට සොච්චම් මුදලට මිනී මරා ගන්නා උන්ගේ ගෝලයෝ ගොදුරු බවට පත්වෙති. මේ බව තේරුම් නොගන්නා තාක්කල් මේ දෙපාර්ශ්වයේම පාතාල සගයන් ඝාතනය වීම නතර නොවනු ඇත.
හේමන්ත රන්දුණු
– Divaina
No comments: