Header Ads

Breaking News
recent

රතන හිමි, විමල්, උදය ජනාධිපති හමුවේ..

පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අතුරලියේ රතන හිමියන් සහ විමල් වීරවංශ, නීතිඥ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් (ඔක්.31) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුනහ.


මෙහිදී ජනාධිපතිවරයා සහ මන්ත්‍රිවරුන් අතර ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වූයේ ඇමරිකා එක්සත් ජනපදයයේ Millennium Challenge Corporation ආයතනය සමග වත්මන් රජය හදිසියේ ගිවිසුම්ගතවීමට පියවර ගන්නේද යන්න පිළිබඳවයි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගරු අතුරලියේ රතන හිමියන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්.

මෙහිදී අදහස් දැක්වූ ගරු අතුරලියේ රතන හිමියන්

මමත් විමල් වීරවංශ මැතිතුමා සහ උදය ගම්මන්පිල මැතිතුමා හදිසියේ අද ජනාධිපතිතුමන් හමු වුණා. හමුවේ ප්‍රධාන අභිප්‍රාය වුණේ විශේෂයෙන්ම අද දිනයේදී ඇමරිකා එක්සත් ජනපදය සමග යෝජනා කර තිබෙන ගිවිසුම් අත්සන් තබන්නට යනවායැයි අපට ආරංචි වීමයි. කැබිනට් පත්‍රිකාවක් විදිහට මේක ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් එකේ දී මෙය අනුමත වුණාද නැද්ද කියන හැම ප්‍රශ්නයක්ම අපට තිබුණා. අද අපි ජනාධිපතිතුමන් හමු වී මේ ගැන කතා කළා. එතුමා අප ඉදිරිපිටදීම මංගල සමරවීර අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් අරගත්තා. මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී බොහොම පැහැදිලිව කිව්වා අද එවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ සැලසුමක් නොමැති බව. ඒ වගේම ජනාධිපතිවරයා පැවසුවේ එවැන්නක් අත්සන් නොකරන ලෙසයි. ගිවිසුම අද දින අත්සන් නොකරන බව අප තහවුරු කරගත්තා. ඒ වගේම එවැනි ගිවිසුමක් අත්සන් කරනවා නම් ජනමතයක් විදිහට අපට කරන්න පුළුවන් හැම දේම අපි කරන්න බලාපොරොත්තුවෙනවා පාට පක්ෂ භේදයකින් තොරව.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා



ඇමරිකා එක්සත් ජනපදයයේ Millennium Challenge Corporation කියන රාජ්‍ය ආයතන සමග MCC ගිවිසුම අත්සන් කිරීමේ උත්සාහයක රජය දීර්ඝකාලීනව යෙදී සිටියා. මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ගෙනාවේ මංගල සමරවීර අමාත්‍යවරයායි. මාස හය හතක් මෙය කල් ගියා. නමුත් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබෙනවා. අද අපට දැනගන්නට ලැබුණා අද සවස 3.00 ට කාටත් හොරෙන් මේ ගිවිසුමට අත්සන් තබන්නට නියමිත බව.

ඔබ කවුරුත් දන්නවා මේ තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක්. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක්. බලය මාරු වන අවස්ථාවක්. එවැනි අවස්ථාවක මෙවැනි රටේ අනාගතය පරදුවට තබන රටට අහිතකර ගිවිසුමක් අපේ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් ඇමරිකානු හමුදාවන්ට සහ ඔවුන්ගේ උවමනාවන්ට පාවිච්චි කිරීමට ඉඩ ලබාදෙන ගිවිසුමක් අත්සන් කිරීම ඉතාම භයානකයි.

එම නිසා තමයි අප ජනාධිපතිතුමන් මුණගැසීමට අනාරාධිතව පැමිණියේ. අපි එතුමා මුණ ගැහිලා ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. එතුමා එහිදී පැහැදිලිව කිව්වා අමාත්‍ය මණ්ඩලයේ දී මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නේ ඉදිරි දෙසතියේ එනම් නොවැම්බර් 16 වැනිදාට පෙර ගිවිසුමට අත්සන් නොකරනවා යන කොන්දේසියට යටත්ව බව.

නමුත් මෙය ඉතාමත් කඩිනමින් අත්සන් කරන්නට යන බවට අප විසින් එතුමාට පැහැදිලි කළා. ජනාධිපතිවරයා විසින් මංගල සමරවීර අමාත්‍යවරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන ඔහුගෙන් මේ සම්බන්ධව විමසීමක් සිදු කළා. එම සංවාදයෙන් අනතුරුව ජනාධිපතිතුමා අපට ප්‍රකාශ කළේ අද එවැනි ගිවිසුමක් අත්සන් නොකෙරෙන බවත් එමෙන්ම ඉදිරි දෙසතිය තුළ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට උත්සාහයක් දරන්නේ නම් එය වැළැක්වීම සඳහා ද හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

මේ මැතිවරණ පැවැත්වෙන වෙලාවක යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ මේ රට නැත්තටම නැති කරල යාමට ඉඩ දිය යුතු නැහැ. එමනිසා මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව ප්‍රබල ජනතා ක්‍රියාකාරීත්වයක් ගොඩනගන්නට ද අප බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා

මීට කලින් Millennium Challenge Corporation හි විධායක අධ්‍යක්ෂකවරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරණය අවසන් වනතුරු මෙම ගිවිසුම අත්සන් නොතබන බවයි. නමුත් හදිසියේ කඩි කුලප්පු වෙන් මෙම ගිවිසුම අත්සන් තැබීමට Millennium Challenge Corporation පෙළඹී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත මැතිවරණ පරාජයක් අත් වී නුදුරු අනාගතයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිහි නොවන නිසයි. එබැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම ගිවිසුමට යටත් කරගත යුතුයැයි කියන තැනට ඒ අය පැමිණිලා තියෙන නිසා තමයි මේ ගිවිසුම අත්සන් තබන්නට කඩිමුඩියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරගෙන තිබෙන්නේ.

ජනාධිපතිවරණයට කලින් මේ ගිවිසුම් අත්සන් තබන්නේ නැත්නම් මෙහෙම කඩිමුඩියේ අනුමත කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපි ඇමරිකාවට කියනවා ජනාධිපතිවරණය දිනන්නේ අපියි. ඉන් අනතුරුව නුදුරු අනාගතයේ මේ රට පාලනය කරන්නේ අපියි. ඒ නිසා ගෙදර යන ආණ්ඩු සමග ගිවිසුම් අත්සන් කර පලක් නැහැ. එම ගිවිසුම් අප පිළිගන්නේ නැහැ. මේ මැතිවරණ සමයක්. අන්තර් කාලීන ආණ්ඩුවකුයි තියෙන්නේ. ඒ නිසා Millennium Challenge ගිවිසුම අත්සන් කරල නැති ප්‍රශ්නයක් ආසියාවේ ඇති කරන්නට එපා.

අලුත් ආණ්ඩුව සමග ඔබට කරන්නට තියෙන කතාවක් කරන්න. ඉදිරි දින දාසය ඇතුළත කිසිම ගිවිසුමක් අත්සන් කරන්න එපා. එහෙම අත්සන් තබලා මේ ආසියාවේ නැති ප්‍රශ්නයක් ඇති කරන්නට ද එපා කියලා අප ඇමරිකාවෙන් යලි ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

No comments:

Powered by Blogger.