Header Ads

Breaking News
recent

බඩු මිල වැඩි වුණාට ජනතාවට ගාණක් නෑ - රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ද

සුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව කිසිවිටක ජනතාව අතරට යාමට බිය නොවන බවත්, එළඹෙන 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමේදී මහ මැතිවරණයක් පැවැත්වීමට යෝජනාවක් ගෙනවිත් තුනෙන් දෙකක සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවන්නට කටයුතු කරන ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවත්, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
අන්තවාදී කණ්ඩායම් සම්බන්ධ කර නොගෙන, රටට අහිතකර ගිවිසුම්වලට එළඹෙන්නේ නැතිව, පූර්ණ විනිවිද භාවයෙන් යුතුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත්, ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ප්‍රමුඛ රජය එම අයුරින්ම සුරකින බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෙත්සිරිපාය, දෙවන මහළේ පිහිටි නිවාස පහසුකම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  (31) දින පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “මේ ආණ්ඩුව වැරැදි කරන අයට නිසි දඩුවම් දෙන්නේ නැතිව කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් සිදුකරනවා කියා යම් අයෙකුට සිතෙන්නට පුළුවන්. අපටත් දැනෙනවා විශාල වැරදි කරපු අය දවසින් දෙකින් ඇප අරන් යන බව. අධිකරණයේ ස්වාධීනත්වය අප එදත් විශ්වාස කළා. අදත් විශ්වාස කරනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කරන පොලිස් දෙපාර්තුමේන්තුව, සී.අයි.ඩී. වැනි ආයතන වල නිලධාරින්ට අප කිසිවිටක බලපෑම් කර නැහැ. ස්වාධීනව එම කටයුතු සිදුකළා. නමුත් පසුගිය කාලයේ කිසිදු වරදක් නොකළ අය පවා මෙම නිලධාරින් කුදලගෙන ගොස් බන්ධනාගාරගත කළා.

නමුත් ඊයේ පෙරේදා එළියට ආවේ පොඩි පොඩි සිද්ධි පමණයි. පාඨලී චම්පික, රාජිත සේනාරත්න සහ තවත් හිටපු ඇමැතිවරුන්ට චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලනවා. ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය මේ අය සමඟ ඔට්ටුවන එක නෙමෙයි. පළිගැනීමේ චේතනාව තිබ්බේ පසුගිය ආණ්ඩුවටයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළිගැනීමේ චේතනාවෙන් කිසිදු වචනයක් වේදිකාවේ ප්‍රකාශ කළේ නැහැ. මඩ ප්‍රචාර කළේ නැහැ. එතුමා බලාපොරොත්තු වූ රට අද නිර්මාණය වී තිබෙනවා. පළිගැනීම් කරන්න කාලය වැය කරනවාට වඩා අපගේ වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම සහ ජනතාව අපේක්ෂා කළ රාජ්‍ය පාලනය ලබා දීමයි. මේ ආණ්ඩුව ඉඹේ පහළ වූ ආණ්ඩුවක් නොවෙයි. විද්වතුන් සියලු දෙනා එකතු කර ගනිමින් සැළසුම් සකස් කර වත්මන් ආණ්ඩුව ලබා ගැනීමට අප වසර හතර හමාරක් නොවිදිනා දුක් වින්දා.

ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව භාර දුන්නා කියා විපක්ෂය අද ප්‍රකාශ කරනවා. ඒ අය ආණ්ඩුව භාර දුන්නා නොවෙයි, ආණ්ඩුව භාර දීමට සිදු වුණා. නමුත් සිදු විය යුත්තේ එය නොවෙයි. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමයි. සුළුතරයක් සමඟ ආණ්ඩුව කරගෙන යන්නට ඉඩදී උප්පරවැට්ටි යොදා ආණ්ඩුව කඩා වට්ටන්නට මේ අය සිතාගෙන ඉන්නවා. නමුත් මේ ආණ්ඩුව කඩා වැටෙන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ලක්ෂ 69 ක් ජනතාව මේ ආණ්ඩුවට බහුතර බලය ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණාට ජනතා බහුතරය ආණ්ඩුවට තිබෙනවා.

අවුරුදු ගණනක් ජනතාවට කන්න නොදුන් ආණ්ඩුව ගැන ජනතාව තිබු පළිගැනීම වැඩි ඡන්ද ලක්ෂ 15 කින් ජනතාව පෙන්නුවා. ජනතාව අද බලන්නේ සහල් කිලෝවක, ලූණු ගෙඩියක ගාණ නොවෙයි. ජනතාවට කැමැති උචිත ආණ්ඩුවක් තිබෙනවාද කියලයි. පසුගිය ආණ්ඩුව භාර ගත්ත ගමන් හිටපු අගමැතිතුමා කිව්වේ ආණ්ඩුව කරගෙන යන්න අමාරුයි, භාණ්ඩාගාරයට අමාරුයි ඒ නිසා ජනතාව පටිතදකර ගන්න කියායි. නමුත් ඒ අය තමන්ට අධි සුඛෝපභෝගි වාහන ගෙන්නුවා. සුරසැප වින්දා. අද එහෙම තත්ත්වයක් නැහැ. ජනතාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා වරප්‍රසාද සියල්ල කැප කර තිබෙනවා. අපි ආණ්ඩුව ගත්තේ සැලසුම් සහගත වැඩ පිළිවෙලක් සමඟයි.

පසුගියදා අත්අඩංගුවට ගත්තේ සිල්ලර කාසි දෙකක් පමණයි. ඒ අයගේ සහ තවත් අයගේ මහා පරිමාණ සිදුවීම් තවම එළියට ආවේ නැහැ. ඒවා පෙළට තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා ගැන ටොප් 10 කියා අල්ලස් කොමිසමට පැමිණිලි කළා. ඒවාට තාමත් අත තබා නැහැ. ඒ කටයුතු තවමත් සිදු වනවා.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට පමණක් නොව මුළු රටේම වැඩ කර තිබෙන්නේ ඔළුව විකාර වුණු ඇමැතිවරයෙක් ලෙසයි. අමාත්‍යාංශ වැඩපිළිවෙල තුළ 10 දෙනෙක් ගන්න අවශ්‍ය තැනට 100 දෙනෙක් ගෙනල්ලා දානවා. 10 වියදම් කරන්න ඕනෑ තැනට 150 ක් වියදම් කරලා. විශාල ලෙස මුල්‍ය වංචා කරලා, රාජ්‍ය දේපල අවභාවිතා කරලා, චක්‍ර ලේඛන, අණ පණත් උල්ලංඝනය කර කටයුතු කරලා. සේවක බදවා ගැනීමේදී රාජ්‍ය පාලනය හා ආර්ථිකය විනාශ වන ලෙස කටයුතු කරලා. අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් වගකීම් විරහිතව කටයුතු කරන්නේ නැහැ. මේ රජය බලයට පත් කර ගන්න සහය දුන් පිරිසට වඩා මේ රජය පත්වුණාට පසුව කැමැති පිරිස වැඩි වෙලා. ජනතාව බලාපොරොත්තු වූ ආණ්ඩුව අද ජනතාවට ලැබී තිබෙනවා” යනුවෙන් පැවසීය.

මෙහිදි තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක යන මහත්වරුන්ද අදහස් දැක්විය.

– midea unit


No comments:

Powered by Blogger.