Header Ads

Breaking News
recent

පොහොට්ටුව වෙනමත් ශ්‍රීලනිප ඇතුළු කුඩා පක්ෂ වෙනමත් තරග කිරීමේ යෝජනාවක්

ඉදිරි මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනි පක්ෂයක් වශයෙන් තරග වැදීමටත් ආණ්ඩුවේ සෙසු සාමාජිකයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වැනි කුඩා පක්ෂ වෙනම සන්ධානයක් වශයෙන් තරග වැදීමටත් යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවට සමීපතම වෙබ් අඩවියක් විසින් ද ඊයේ (07) මේ පිළිබඳ වාර්තා කර තිබිණි.

මෙසේ වෙනම තරගවැදී පසුව එක්ව ආණ්ඩුවක් පිහිටුවීම තුළින් තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බවත් විශේෂයෙන් පොහොට්ටුවට නොලැබෙන ඡන්ද ප්‍රමාණයක් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද වැනි අයගේ පක්ෂවලට මෙහිදී ලබාගත හැකි බවත් පොහොට්ටුවේ මැති ඇමතිවරුන් පිරිසක් විසින් පක්ෂ නායකත්වය වෙත දැනුම්දී ඇති බවයි එහි සඳහන්ව තිබුණේ.

එසේම පොහොට්ටුවෙන් නාමයෝජනා ලබාගැනීම සඳහා ඉදිරිපත්ව ඇති අතිවිශාල ප්‍රමාණයක් ඉල්ලීම් හමුවේ නාමයෝජනා සකස් කිරීම ද අර්බුදයකට ලක්ව ඇති හෙයින් මෙසේ වෙන්වී තරග කර පසුව එක්වීම ඊට ද විසඳුමක් වශයෙන් ඔවුන් පෙන්වා දී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී වාර්තා වූයේ මීට අමතරව මෙසේ වෙන්ව තරගවැදී පසුව එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් කැබිනට් මණ්ඩලය 30කට සීමා කර ඇති නිසා ඇමතිකම් ලබාදීමේදී ද ප්‍රශ්නයක් මතුවන හෙයින් වෙන්ව තරගවැදී පසුව එක්වන්නේ නම් ජාතික ආණ්ඩුවක් ලෙස ඇමතිධුර 48ක් දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකි බව අදාළ මැති ඇමතිවරුන් අවධාරණය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට පෙර කුඩා පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට පොහොට්ටු නායකත්වය බලාපොරොත්තුවෙන් සිටින බව ද ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.