Header Ads

Breaking News
recent

බයිලා ගහන ඇමතිලා නොදන්න - ළමයි නොමැති විදුහල්පති ඉන්න ලංකාවේ අරැම පුදුම පාසල

වසර තුනකට ආසන්න කාලයක් විදුහල්පතිවරයකු වෙනුවෙන් පවත්වාගෙන යන පාසලක් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහාව ගම්මානයේ පිහිටා තිබෙනවා.

ඒ බිබිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඉහාව කනිෂ්ඨ විද්‍යාලයයි.

මේ වන විට ඉහාව කනිෂ්ඨ විද්‍යාලයේ සිටින්නේ විදුහල්පතිවරයා පමනයි.

විදුහල්පතිවරයා උදේ පැමිණ පොත අත්සන් කොට දහවල් 2.00ට පමණ ආපසු නිවසට යන අතර පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳව විදුහල්පති බේබිපාල රණබාහුගෙන් විමසීමේදී හෙතෙම මෙසේ සඳහන් කළා.

‘‘ඉහාව කනිෂ්ඨ විද්‍යාලය මීට දශක හතරකට පමණ ඉහතදී මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ජනප්‍රිය සහ උසස් ප්‍රතිඵල ලබාදුන් පාසලක්. අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා පන්ති පැවැති මෙම පාසලේ සිසුන් තුන්සියයකට අධික පිරිසක් 1990 වන විටත් ඉඳලා තියෙනවා.

පාසල ආරම්භකර තිබෙන්නේ එවකට ඉහාව පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපතිව සිටි තැරෑලේ සරණංකර නායක හාමුදුරුවෝ. වසර තුනකට පසු 1959 මැයි 9 වැනිදා පාසල රජයට පවරාගෙන තිබෙනවා. ඇතැම් වකවානුවලදී ගුරු මණ්ඩලය දහසය දෙනෙක් ඉඳලා තියෙනවා.

2010 වන විට ප්‍රමාණවත් ගුරු පිරිසක් පාසලේ නොසිටීම නිසා දෙමව්පියන් දරුවන්ව පාසලෙන් අස්කරගෙන අවට පාසල්වලට ඇතුළත් කරලා තියෙනවා. 2018 වර්ෂයේදී අන්තිමට සිටි සිසුන් දෙදෙනාත් අස්වී වෙනත් පාසලකට ගිහින්. 2015 වර්ෂයේදී සිට පළමු වසරට ළමයි ඇතුළත්වී නැහැ.

2018 වර්ෂයේදී පාසලේ විදුහල්පතිවරයා ලෙස මාව පත්කළා. පාසල අවට පිහිටි ගම්මානවලට ගෙයින් ගෙට ගොස් දරුවන් පාසලට එවන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා. නමුත් 2019 වසරේ පාසල අවට පදිංචි ළමයි 18 දෙනෙකු සහ 2020 වසරේ ළමයි 12 දෙනෙකු අල්පිටිය මහා විද්‍යාලයට ඇතුළත් කරගෙන තිබෙනවා.

මෙම තත්ත්වය මත පාසල ඉබේම වැසෙන තත්ත්වයට පත්වෙලා. නමුත් මම තවම උත්සාහ කරන්නේ සිසුන් කිහිපදෙනකු හෝ සොයාගෙන පාසල පවත්වාගෙන යාමටයි.

මේ පිළිබඳව බිබිල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශෙරීනා බෙගම්ගෙන් කළ විමසීමේදී ඇය මෙසේ කීවාය. ‘‘ඉහාව කනිෂ්ඨ විද්‍යාලය අනූව දශකයේ ඉතා හොඳ මට්ටමින් පැවැති පාසලක්. නමුත් වසරින් වසර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වුණා. දැනට එක ළමයෙක්වත් නැහැ. පන්ති කාමර ගොඩනැඟිලි දෙකක්, විද්‍යාගාරයක්, කාර්යාලයක් සහ ගුරු නිවාසයක් තිබෙනවා. පාසලේ තියෙන උපකරණ අවට පාසල්වලට බෙදා දීලා. ඉඩම හා ගොඩනැගිලි පොදු කටයුත්තක් සඳහා යොදාගැනීමට මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දෙනවා.’’




No comments:

Powered by Blogger.