Header Ads

Breaking News
recent

sujeewa senasinghe

මා සතු වත්කම් ලබන ආදායම් සහ යන වියදම් පිළිබඳව විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගෙන ඇති තීරණය අවලංගු කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලි​මේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
අල්ලස් කොමිසම විසින් පවත්වා ගෙන යනු ලබන විමර්ශනය සඳහා ඒ පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නැයි එම අංශයේ ස්ථානාධිපති පී.ජී.ආර්. සුමේන්ද්‍ර 2019 නොවැ. 22 වැනිදා තමාට ලිඛිතව දැනුම් දුන් බව පෙත්සමෙන් කියා සිටින සේනසිංහ එම ලිපියද රිට් ආඥාවකින් අවලංගු කරන බවද ඉල්ලා සිටියි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටින්නේ එම විමර්ශනය පවත්වන්නේ දේශපාලන වශයෙන් පළිගැනීමට බවය. එම ලිපිය තමාට ලැබුණේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරය දරමින් සිටියදී බවත් තමා ඔහුගේ ක්‍රියාකලාපය දැඩි වි​වේචනය කළ අයකු බවත් කොමිසම එම පරීක්ෂණය පවත්වන්නේ නීත්‍යනුකූලව ලබන ආදායම්වලට වඩා දේපොළ සතු කරගෙන ඇති බවට චෝදනා කර අල්ලස් නීතිය යටතේ තමාට එරෙහිව නඩුවක් පැවරීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

තමා දන්නා අන්දමට අනිසි ලෙස දේපොළ රැස් කර ගෙන ඇති බවට කිසිවකු තමාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර නැති බවත් පැමිණිල්ලක් නැතිව තමාට එරෙහිව එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට කොමිසමට බලයක් නැති බවත් සේනසිංහ කියා සිටියි. නීතිඥ ලංකා ආර්. ධර්මසිරි මගින් පෙත්සම ගොනු කර තිබිණි.


No comments:

Powered by Blogger.