Header Ads

Breaking News
recent

පාතාලයට සැපදුන් බන්ධනාගාර ලොක්කාගේ පරීක්ෂණ යට ගසන වෑයමක් !

පාතාලය හා සමීපව කටයුතු කරමින් බන්ධනාගාරය තුළදී සිරකරුවන්ට සුඛෝපභෝගීව ජීවත්වීමට පහසුකම් සැලසූ බව කියන සහකාර බන්ධනාගාර අධිකාරිවරයා සම්බන්ධයෙන් මේ වන විට ආරම්භ කර තිබෙන පරීක්ෂණ යට ගැසීමට විවිධ බලපෑම් එල්ලවීමට පටන්ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතාගෙන්  කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මේ නිලධාරියා සම්බන්ධව මූලික සාක්ෂි ලබා ගැනීමෙන් පසු ඊයේ (12දා) සිට ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පාතාල නායකයන් සමඟ ගනුදෙනු කරමින් බන්ධනාගාර රැඳවියන්ට ‍ෙදාර දෙකේ ශීතකරණ, විදුලි උදුන්, මයිකේ‍රාවේව් උදුන් ඇතුළු රුපියල් ලක්ෂ ගණන් වටිනා උපකරණ සැපයූ බවට තහවුරු වී තිබියදීත් එම චෝදනාවට ලක්ව සිටින මෙම සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ රාජකාරි තහනම් නොකරම පරීක්ෂණ ආරම්භ කර තිබීම පිළිබඳව බන්ධනාගාරය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ මූලික සාක්ෂි විමසීමෙන් පසු අදාළ නිලධාරියාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ බවත් එම පරීක්ෂණ වාර්තාවලින් පසු නිලධාරියා සම්බන්ධව විනය පියවර ගන්නා බවත්ය.

සැකකාර සහකාර බන්ධනාගාර අධිකාරිවරයා කාලයක් තිස්සේම පාතාලය සමඟ සමීපව ඇසුරු කරමින් බන්ධනාගාරගත වන රැඳවියන්ට අතේ තිබෙන මුදල් වැයකර සිර මැදිරි තුළ සිටින රැඳවියන්ට සුඛෝපභෝගීව කල් ගත කිරීමට පහසුකම් සලසා තිබෙන බව හෙළි වී තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ කාලයක් තිස්සේ කළ රහසිගත සොයා බැලීමකින් පසු සහකාර බන්ධනාගාර අධිකාරිවරයා බඩුත් සමඟ අල්ලා ගැනීමට සමත්වී ඇත.

මෙම සිරකුටියේ තිබූ කෑම බීම තවත් සිර මැදිරියක සිටි මත්කුඩු ජාවාරම්කරුවකුටද දෙන බවට හෙළිවී තිබේ. මේ සා විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිව තිබියදීත් සැකකාර සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණ කළ යුතුව තිබියදී ඔහු තවදුරටත් මීගමුව බන්ධනාගාරයේ සේවයේ තබා ඔහුට එරෙහිව කරන පරීක්ෂණ පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවද බන්ධනාගාර සෙසු නිලධාරීහු පවසති.

මෙම සැකකාර නිලධාරියා සම්බන්ධව කරන පරීක්ෂණ යට ගසා ඇති බවට නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් “මව්බිම” කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදුවන පරීක්ෂණවලට දේශපාලනඥයන් ලෙස තමන් ඇඟිලි නොගසන බවයි.

මේ සම්බන්ධව කරන පරීක්ෂණ බන්ධනාගාර උසස් නිලධාරීන් විසින් කරනු ලබන බවද සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සොයා බලනු ඇති බවද නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පැවැසීය.

ශිරාන්ර ණසිංහ
මව්බිම


No comments:

Powered by Blogger.