Header Ads

Breaking News
recent

රට රස්සා අහිමිවූ පිරිස ලක්ෂය පන්නයි !

Covid-19 වසංගතය නිසා ඇති වූ අර්බුදය නිසා විදේශ රැකියාවන්හි නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් දැන් මතුව තිබේ.

ගිවිසුම්ගත කොන්දේසි කඩකරමින් එම සේවා ස්ථානවලින් ඉවත්වීම, නීති විරෝධී ලෙසින් සේවයකර පැමිණි අයට යළි යාමට නොහැකිවීම, කොත්ත්‍රාත් කාලය අවසන්වීම හා එම විදෙස් ආයතන මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය මත රැකියා අවස්ථා අහිමිවීමත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩා අඩු මුදලකට වෙනත් රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ එම රටවල ආයතනයන්ට හැකියාවන් තිබීම නිසා මේ තත්ත්වය හටගෙන තිබේ.

Covid-19 ව්‍යාප්තිය සමඟ මේ පිරිස් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කළ අතර ඊට පෙර මෙරටට පැමිණ යළි විදෙස් ගතවීමට සිටි බොහෝ අයටද මේ වනවිට එම ආයතන දන්වා ඇත්තේ යළි දැනුම් දෙනතුරු රැකියාවන්ට නොපැමිණෙන ලෙසයි.

ඇතැම් ආයතන වසා දමා ඇති බවද ශ්‍රමිකයන්ට දන්වා ඇත.

වාර්ෂිකව මෙරටින් දෙලක්ෂයකට අධික පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්වන අතර 2018 වසරේ 211,229ක් ද 2019 වසරේ 203,141ක්ද විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

මේ වන විට විදෙස් ගත ශ්‍රමිකයින් සංඛ්‍යාව ලක්ෂ 17ක් පමණ වන අතර ඔවුන් අතුරින් වැඩි පිරිසක් වැද්දුම් ශිල්පී, ජල නළ ශිල්පී, වැනි වෘත්තීය රැකියා සඳහාත් සහ ගෘහ සේවිකාවන් සඳහාත් පිටත්ව ගොස් තිබේ.

එමෙන්ම පුහුණු ශ්‍රමිකයන් වශයෙන්ද 90,000ක් පමණ සැලකිය යුතු පිරිසක් පිටත්ව ගොස් ඇත.

ගෘහ සේවිකාවන්ට හැර ආයතනිකව සේවය කරන අයට මේ ගැටලුව මතුව තිබේ.

රැකියා විතරක් නෙවෙයි විදෙස් අධ්‍යාපනයත් කඩාකප්පල් වුණා - රවිනාථ

මේ පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසන්නේ විදෙස් ගත ශ්‍රමිකයින් 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් කඩිනමින් මෙරටට පැමිණීමට උත්සාහ කළා විනා ඔවුන්ගේ රැකියා සම්බන්ධව අවධානය යොමු නොකළ බවයි.

කොරෝනා අර්බුදය හමුවේ ඔවුන්ගේ රැකියා පමණක් නොව අධ්‍යාපනය අතරමඟ නවතා පැමිණි සිසුන්ටද ඇතැම්විට යළි යාමට අපහසු වනු ඇතැයිද ඔහු කියා සිටී.

එමෙන්ම මේ වන විට ක්වේට් රාජ්‍යයේ 1,000ක් හා ජෝර්දානයේ 1,000ක් බැගින් වූ පිරිසක් මෙරටට ඒමට සූදානමින් සිටියත් ඔවුන්ගෙන් අඩක් පමණ පිරිසකට පැමිණීමට නොහැකි වී ඇත්තේ ඔවුන් අනවසරයෙන් එරට රැඳී සිටින්නන් බවට වාර්තා වී ඇති නිසා බවද ඒ සම්බන්ධයෙන් විදේශ සබඳතා සහ විදේශ රැකියා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට ක්වේට් තානාපතිවරයා සමඟ පසුගියදා සාකච්ඡාවක් කළ බවත් මේ සතියේදී ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත් රවිනාථ මහතා සඳහන් කරයි.

එමෙන්ම විදේශවල සිට මෙරටට පැමිණීමට බලා සිටින දහස් ගණනක් වූ පිරිස ද රැගෙන ආ යුත්තේ ඔවුන් රැගෙන ඒමට හා නිරෝධායනය කිරීමට මෙරටට ඇති හැකියාව පිළිබඳව සලකා බැලීමෙන් පසුව වන අතර, ඔවුන් නිසා මෙරට සිටින අයට අනතුරක් නොවිය යුතුවාක් මෙන්ම, ඔවුන් රට තුළට පැමිණෙන අතරතුර දී අනවශ්‍ය ලෙස අනතුරට නිරාවරණය ද නොවිය යුතු බවද විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

No comments:

Powered by Blogger.