Header Ads

Breaking News
recent

"ලිහිල් කිරීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි”: "නැවත ඇවිලී” යා හැකියි - WHO

ආණ්ඩුව ඉදිරියේදී සිදු කිරීමට යන ලිහිල් කිරීම් හරහා "ප්‍රශ්න ඇති විය හැකි” බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කියයි.
ඔහු බීබීසී සිංහල සේවය සඳහා අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

"දැන් සම්පූර්ණයෙන් ආයෙත් රිලීස් කළොත් රෝගීන්ව හොයා ගන්න බැරි වෙනවා කොහෙද මේ ආසාදිත අය ඉන්නෙ කියලා” යනුවෙන්ද වෛද්‍ය අබේසිංහ මහතා කියා සිටී.

"දැන් සාමාන්‍ය මිනිස්සුන්ව රිලීස් කරල බස්වල යන්න පුළුවන් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කරන අයට විතරයි කියලා කිව්වට සාමාන්‍ය ජනතාව ඒක තේරුම් ගන්නෙ නෑනෙ. ඇඳිරි නීතිය නැත්නම් සාමාන්‍ය ජනතාව තමන්ගේ ගමන් යනවා. බස්වලට මිනිස්සු නග්ග ගන්නකොට තෝරල ගන්න බෑ. එතකොට ගැටුම් ඇති වෙනවා. එතකොට ප්‍රශ්න ඇති වෙනවා ඉස්සරහට," වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මේ බව පැහැදිළි කරමින් පෙන්වාදෙයි.

ඔහු පෙන්වා දුන්නේ, නිසි ක්‍රමවේදයක් අනුගමනය කර සීමා ලිහිල් කිරීම කළ යුතු බවය.

"මුලින්ම ආණ්ඩුව මිනිස්සු බය කරලා ගෙවල්වල රැඳෙවුවා. දැන් කියනවා සාමාන්‍ය ජන ජීවිතය යථාතත්ත්වයට පත් කරනවා කියලා. මේක ජනතාවට ගැටලු සහතග තත්ත්වයක්," වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස වී ඇත්තේ, සීමා ලිහිල් කිරීමෙන් පසුව රෝගීන් යම් ප්‍රමාණයකින් ඉහළ යා හැකි හෙයින් ඊට මුහුණ දීමට සෞඛ්‍ය අංශ ශක්තිමත් විය යුතුය යන්නය.

මේ සඳහා දෛනික රෝග පරීක්ෂා කිරීම් සංඛ්‍යාව 2500ක් දක්වා ඉහළ දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇස්තමේන්තු අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ දෛනික රෝග පරීක්ෂා කිරීම්වල සාමාන්‍යය 1100 ක් පමණබව පැවසේ.

"ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කොරෝනාවෛරස් පාලනය සාර්ථක තත්ත්වයක තියෙනවා. ඒත් නාවික හමුදාවේ ඇති වුණ පොකුර තවමත් සක්‍රීයයි කියන එක පේන්න තියෙනවා. මේ පනවා තියෙන සීමා යම් ප්‍රමාණයකින් ලිහිල් කළොත් රෝගීන්ගේ සංඛ්‍යාව යම් ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා දෛනික පරීක්ෂා කිරීම් සංඛ්‍යාව ඇතුළු රෝහල් ක්‍රියාකාරකම් වැඩි කළ යුතුයි. රෝගීන් සංඛ්‍යාව උපරිම ධාරිතාවට වඩා පහළ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතුයි," වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටී.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශගේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසන්නේ, සම්පූර්ණයෙන් සීමා ලිහිල් කිරීමක් සිදුනොකරන අතර "කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 5ක් පමණ අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති," බවය.

"අපි ගොඩක් තැන් ලොක්ඩවුන් රිලීස් කරල තියෙනවා. තාමත් පොඩි ප්‍රදේශ ටිකක් තියෙනවා. ඒවා පාලනය කරගෙන යනවා. ඉස්සරහටත් රෝගීන් වාර්තා වුණොත් ඒ ප්‍රදේශ සීමාවන් යටතේ පවත්වාගෙන යනවා. කොළඹ අපිට තියෙනවා හඳුනා ගත්ත ප්‍රදේශ ඒව අරින්නෙ නෑ. පොඩි ප්‍රදේශ 5ක් විතර තියෙනවා අන්ඩර් ලොක්ඩවුන්.”

කෙසේ වෙතත්, සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව රෝගීන් වාර්තා වුවහොත් අදාළ ප්‍රදේශ සඳහා සංචරණ සීමා පනවන බව ද වෛද්‍ය පබා පළිහවඩන සදහන් කළේය.

"සීමා ලිහිල් කිරීමෙන් ආසාදනය නැවත ඇවිළී යා හැකියි" - ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනාවෛරසයට එරෙහි වර්තමාන සටන ගැන තෘප්තිමත්ව එහි බරපතළකම මග හැරීමෙන් මෙම රෝගය "දීර්ඝ කාලයක් අප සමග සිටිනු" ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් පසුගිය සතියේදී අනතුරු අඟවා තිබිණි.

ඔහු එහිදී සදහන් කළේ, දැනට ක්‍රියාත්මක වන සීමා ඉවත් කිරීමෙන් ආසාදනය "නැවත ඇවිලී" යා හැකි බවය.

No comments:

Powered by Blogger.