Header Ads

Breaking News
recent

මහමැතිවරණය අභියෝගයට ලක් කරමින් පාඨලී සහ වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයට


මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව
විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර ඇත.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත්  මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වේ.

එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය  කර ඇතැයිද පෙත්සමේ සඳහන්ය.

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද ඔවුන් පෙන්වා දෙති.

එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.


කොරෝනා වසංගතය අවසන් වීමට පෙර  මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් අයද සිටීති.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු
ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති




No comments:

Powered by Blogger.