Header Ads

Breaking News
recent

නිදහස් චතුරස‍්‍රය අසළ මියගොස් සිටි පුද්ගලයා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු බවට හෙළිවෙයි

කොළඹ – නිදහස් චතුරස‍්‍රය ආසන්න භූමියේ තිබී අද උදෑසන මිය ගොස් සිටි පුද්ගලයා වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

මළ සිරුර ආසන්නයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද සොයාගත් බවයි කුරුඳුවත්ත පොලීසිය කියා සිටියේ.

අද උදෑසන නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේ මුර සංචාරයේ නිරත පොලිස් භටයන් විසින් මෙම මළ සිරුර මුලින්ම නිරීක්ෂණය කර තිබුණා.

මෙලෙස මිය ගොස් සිටියේ රජිව් ප්‍රකාශ් ජයවීර නැමති 64 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු බම්බලපිටිය පොලිස් උද්‍යාන මාවතේ සිය නිවසේ පදිංචිව සිටි අයෙක්.

මොහු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වන බවයි පොලීසිය සඳහන් කළේ.

මියයාමට පෙර ඔහු සිය සහෝදරයාට ලිපියක් ද ලියා ඇති අතර, ඒ බව ඊයේ රාත්‍රියේ එම පුද්ගලයාට දැනුම් දී ඇත්තේ එස්.එම්.එස්. පණිවුඩයක් මාර්ගයෙන් බවයි සඳහන් වන්නේ.

තමන්ට පවතින අසනීප තත්ත්වය හේතුවෙන් මෙලෙස සිය දිවි හානි කර ගන්නා බවට එහි සඳහන් කර ඇති බව පොලීසිය කියා සිටියා.

මෙම පුද්ගලයා ඊයේ පස්වරු 6.45ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඊට පෙර ඔහු තම මෝටර් රථයේ යතුර මෙහෙකාරිය වෙත ලබාදෙමින් සදහන් කර ඇත්තේ සහෝදරයාට එය ලබාදෙන ලෙසයි.

විවාහකයෙකු වන මොහුගේ බිරිඳ මේ වන විට එංගලන්තයේ රැදී සිටින අතර, ඇය පොලිස් උද්‍යානය ආසන්නයේ පිහිටි නිවස ආසන්නයේ ගුවන් ප්‍රවේශපත් අලෙවි ආයතනයක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහි යතුර ද මුද්‍රා තබා මෙහෙකාරිය වෙත ලබා දී ඇත්තේ ආයතනයේ සේවිකාවක් වෙත ලබාදෙන ලෙස පවසමින්.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර නිවසේ මෙහෙකාරියගෙන් සහ මිය ගිය පුද්ගලයාගේ සහෝදරයාගෙන් පොලීසිය මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.


No comments:

Powered by Blogger.