Header Ads

Breaking News
recent

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුවයි..

මෙවර මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන  පොහොට්ටුව වටා එකතු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි

අද (30) පෙරවරුවේ මහනුවර දවුලගල ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ විවිධ මතිමතාන්තර හේතුවෙන් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව දුරස් බවක්  දැක්වුවද මෙවර මැතිවරණයේ දී ඔවුන් නිවැරදි තීන්දුවකට එනු ඇති බවයි.

මුස්ලිම් ජනතාව වෙනුවෙන් වැඩිම සේවයක් කළ ආණ්ඩුව වන්නේ තමන්ගේ ආණ්ඩුව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එක් අවස්ථාවකදී තම රජයක මුස්ලිම් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වූ බව   සඳහන් කළේය.

තම රජය කිසිදු අවස්ථාවක ජාති ආගම් භේදයක් මුල් කරගෙන කටයුතු නොකළ බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා අප අදහන බුදු දහමට අනුව ද එවැනි දෙයක් සිදුකළ නොහැකි බව පෙන්වා දුන්නේය.

එදා එල්. ටී. ටී. ඊ  සංවිධානය විසින් කාත්තන්කුඩියේ එකසිය ගණනක් වෙඩි තබා මරා දමා තිබූ අවස්ථාවක මුස්ලිම් ජනතාවට කුඹුරට යන්න, පල්ලියට යන්න හමුදාව යොදවා ආරක්ෂාව සැලසූ  වූ බවත් ගම්මාන වල ජීවත් වීමට නොහැකිව සේරුවාවිලට පැමිණි මුස්ලිම් ජනතාව ආරක්ෂා සහිතව නැවත ගම්මානවල පදිංචි කරවීමට තමන් පියවර ගත් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

තම රජය සෑම විටම සියලු ජාතීන්ට වැඩක් කළ ආණ්ඩුවක් බව දැනටමත්  ඔප්පු කොට ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. එස්. එම් සාෆි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකොට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දවුලගල හමුවට සහභාගි වීමට පෙර උඩුනුවර, ගඟපළාත, හන්දෙස්ස, කඹුරාදෙනිය, ටිකිරි බෝගහගොඩ ශ්‍රී සංඝරාජ පිරිවෙන විහාරස්ථානයේ රැස්වීමකට සහභාගී වූ අතර එහිදී මහා සංඝරත්නය විසින් අග්‍රමාත්‍යවරයාට  ආශිර්වාද පතා සෙත්පිරිත් සජ්ඣායනය කරනු ලැබීය.

– සිසිර මුණසිංහ

No comments:

Powered by Blogger.