Header Ads

Breaking News
recent

යුද හමුදාවේ නිවුන් සහෝදර මේජර් ජෙනරාල්වරුන් ගිනස් වාර්තාවකට ඉල්ලුම් කරති

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

වසර 71 ක අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට සහ ලෝක ඉතිහාසයට නව පිටුවක් එක්කිරීමේ අරමුණින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා ගිනස් පොත් වාර්තා පිලිබඳ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා සමගින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ.

එකම දිනක උපත ලබමින්, එකම දිනක පාසලට ඇතුලත්ව, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව එකම දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව, එකම දින අධිකාරියට පත්ව පකිස්තානයේ ක්වේටා (Quetta) හි විදේශීය පාඨමාලාවක් හදාරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම දින උසස්වීම් ලැබූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යුද්ධ හමුදා දිවියෙන් ද එකම දින විශ්‍රාම ගැනීමට නියමිතය.

බ්‍රහස්පතින්දා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම විධිමත් උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ කෙරුණු අතර ගිනස් ලෝක වාර්තා පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා විසින් මෙහිදී හඳුන්වාදීමේ දේශනය සිදුකරමින් ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක පෙන්වාදුන් අතරම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ඒ සඳහා සම්පුර්ණ කළයුතුවන්නේ කෙසේදැයි සඳහන් කළේය.

ඉන් අනතුරුව, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා අමතමින් සිදු කළ සිය දේශනයේදී, “මෙම නිවුන් සොහොයුරන්ගේ දෙමව්පියන්ට එම පුතුන් දෙදෙනා පෝෂණය කොට යුද්ධ හමුදාව වෙත ඇතුලත් කිරීම වෙනුවෙන් විශේෂ උපහාරයක් පුද කරන අතරම ඔවුන් දෙදෙනා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත්ව යුද්ධ හමුදා වෘත්තියේ ඉහළටම පැමිණීම පිළිබඳව මම ඔවුන්ට සුබපතමි.” යැයි පැවසීය. මෙම ඓතිහාසික අවස්ථාවට යුද්ධ හමුදාවේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණිම පිළිබඳව ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා නියෝජත සමන් අමරසිංහ මහතාට ද සිය ස්තූතිය පුද කළේය.

ඉන් අනතුරුව, නිවුන් සහෝදරයන් දෙපලගේ හමුදා දිවිය හා සිවිල් ජිවිතය පිළිබඳ කෙටි විඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශනය කළ අතර පසුව, ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා සුදුසුකම් ලබාගැනීමට නිවුන් සහෝදරයන් දෙපළ විසින් නිල ලිපිලේඛණවලට අත්සන් තැබුහ.

මෙම උත්සවයේදී, රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ නිල නියෝජිත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් ලක්ෂිකා ගනේපොල මහත්මිය නිවුන් නිලධාරීන් දෙපලගේ උප්පැන්න සහතික දෙකක් සහතික කර ජාතික ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ගිනස් ලෝක වාර්තා පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති වෙත භාර දුන්නේය.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගිනස් වාර්තාවට අවශ්‍ය නිවුන් සහෝදරයන් දෙපලගේ යුද්ධ හමුදාවට අදාල නිල ලේඛණ සැබෑ පිටපත් ලෙසට සහතික කොට ගිනස් වාර්තා කමිටු නියෝජිතයා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එමෙන්ම, ගිනස් ලෝක වාර්තාවට සුදුසුකම් ලැබීමට ගත් උත්සාහය අගයමින් සමන් අමරසිංහ මහතා නිවුන් සහෝදරයන් දෙපල වෙත ඇගයීම් ලිපි දෙකක් ද මෙහිදී ප්‍රදානය කළේය.

උත්සව කටයුතු අවසානයේ, නිවුන් සහෝදරයන් දෙපල වෙනුවෙන් ස්තූතියි කථාව මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න විසින් සිදුකළේය. මෙම උතසවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සභාගි වූහ.

– Army media


No comments:

Powered by Blogger.