Header Ads

Breaking News
recent

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙති


2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට එල්ල කර තිබෙන චෝදනාව පිළිබඳව විත්තිකූඩුවේ සිට විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු එමිල් රන්ජන් ළමාහේවා යන මහත්වරු අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළා.

මෙම නඩුව අද ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින නියෝමාල් රංගජීව සහ එමිල් රංජන් ළමාහේවා යන අය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයින් විත්තිකූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

 ඊට අමතරව විත්තිකරුවන් වෙනුවෙන්  සාක්ෂිකරුවන් කැඳවීමට පියවර ගන්නා බවද එම නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම නඩුව නැවත අගෝස්තු මස 19 වනදා  කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින විත්තියේ සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කරන බව නිවේදනය කළා.

2012 නොවැම්බර් 09 වනදා  මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් රඳවා සිටි කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර (මාලන්), අතපත්තු සංගක්කාර නිර්මල අතපත්තු, මොහොමඩ් විජය රෝහණ ( ගුණ්ඩු), චින්තාමනී මොහොට්ටිගේ තුෂාර චන්දන (කළු තුෂාර),, අසරප්පුලිගේ  ජෝතිපාල ( පොන්න කපිල), හර්ෂ ශ්‍රී කීර්ති පෙරේරා (මංජුශ්‍රී) , රයිගමගේ සුසන්ත පෙරේරා ( මාල සුසන්ත) සහ දේවමුල්ලගේ මලිත් සමීර පෙරේරා  (කොන්ඩ අමිල) යනාදී රැඳවියන් මරා දැමූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

No comments:

Powered by Blogger.