Header Ads

Breaking News
recent

අවසන් ගමනට පෙර මධුෂ් හෙළිකළ තොරතුරු මෙන්න - කෝටි 700 දියමන්තිය පැහැරගත් හැටි මෙන්න

මට ලොකු කරදරයක් වෙලා තියෙන්නෙ. මේක කොහොම හරි සෙට්ල් කර ගත්තේ නැත්නම් මට සියදිවි හානිකර ගන්න වෙන්නේ
මගේ ළඟ ඉන්නවා දියමන්ති හොයන ෆොරිනස්ලා කීපදෙනෙක්ම. දියමන්තිය හොඳ නම් ගාණ කීයක් වුණත් ඒ අයට ප‍්‍රශ්නයක් නැහැ

මොරිසන් ඔස්ටි‍්‍රයා ජාතිකයෙකි. ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ව්‍යාපාරවල බ්‍රෝකර්වරයකු ලෙස කටයුතු කරන මොරිසන් පැටි‍්‍රක්ගේ කිට්ටුවන්ත මිතුරෙකි. තමන් සතු අනර්ඝ දියමන්තිය ප‍්‍රංශයේ වෙන්දේසිය වෙත යවා එය හොඳ ගැනුම්කරුවකුට අලෙවි කිරීමේ කාර්ය මොරිසන්ට භාරදීමට පැටි‍්‍රක් කටයුතු කළේය.

වටිනාකමෙන් අධික දියමන්තිය ප‍්‍රංශයේ වෙන්දේසිය වෙත යැවීමට පැටි‍්‍රක් කටයුතු කරන්නේ රජයට ගෙවිය යුතු බදු මුදල පැහැර හැර නීත්‍යනුකූල නොවන ආකාරයටය. මෙවැනි වටිනා දේපළ හොර රහසේ රැගෙන යෑමේ උපන් හපන්කම් ඇති පුද්ගලයකු වූ මොරිසන් අප‍්‍රිකාවේ මෙන්ම ප‍්‍රංශයේ රේගු නිලධාරීන්ගේ ද දෑස් වසා දියමන්තිය ප‍්‍රංශයේ පැවැති වෙන්දේසිය වෙත රැගෙන ගියේය. දින කීපයක් තිස්සේ ප‍්‍රංශයේ පැවති වෙන්දේසිය වෙත දියමන්තිය ඉදිරිපත් කළ ද ඊට තමන් බලාපොරොත්තු වූ මිලක් ලැබුණේ නැත. පැටි‍්‍රක්ගේ උපදෙස් මත දියමන්තිය වෙන්දේසියෙන් ඉවත් කර ගැනීමට මොරිසන් කටයුතු කළේය. දියමන්තිය අප‍්‍රිකාවට රැගෙන යනවාද, නැත්නම් වෙනත් වෙන්දේසියක් පැවැත්වෙන තුරු බලා සිටිනවාද යන්න සිතමින් මොරිසන් මෙන්ම පැටි‍්‍රක් සිටියේ දෙගිඩියාවෙන් ය. මේ අතර තවත් වෙන්දේසියක් පිළිබඳව තොරතුරු පැටි‍්‍රක් සොයා ගත්තේය. එහෙත් ඒ වෙන්දේසිය පැවැත්වීමට තවත් මාස කීපයක් බලා සිටීමට සිදුව තිබිණි.

‘‘මේ දියමන්තිය තියාගෙන පැරිස්වල ඉන්න එක භයානකයි. මොකද ඒක සෑහෙන දෙනෙක් දැක්කා වෙන්දේසියේදී. ඒ නිසා අනෙක් වෙන්දේසිය ළංවෙනකල් මේක වෙන කොහෙ හරි රටකට අරගෙන යන්න. ටැක්ස් වදින්නෙ නැතිව පන්න ගන්න පුළුවන් රටකට මේක අරගෙන යන්න.’’

පැටි‍්‍රක් මොරිසන්ට යෝජනා කළේය. මොරිසන් දියමන්තිය රැගෙන ශ‍්‍රී ලංකාවට එන්නට තීරණය කරන්නේ ඉන් පසුවය. මොරිසන් සිතුවේ ශ‍්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ දෑස්වලට වැලි ගසා දියමන්තිය රැගෙන යා හැකි බවය. එහෙත් මොරිසන්ගේ නිගමනය නිවැරදි වූයේ නැත. දියමන්තිය රැගෙන ශ‍්‍රී ලංකාවට එද්දී මොරිසන් රේගු නිලධාරීන් පිරිසකට කොටු වුණේය.

නීත්‍යනුකූල නොවන ආකාරයට රැගෙන ආ දියමන්තිය වටිනාකමෙන් අධික එකක් බවට රේගු නිලධාරීන් සැක පහළ කළහ. දියමන්තිය අත්අඩංගුවට පත් වීමෙන් පසු මොරිසන් අන්දුන් කුන්දුන් වුණේය. දන්න සෙල්ලං දමා රේගුවෙන් බේරී දියමන්තිය රැගෙන යෑමට මොරිසන් උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. පැය ගණනක සාකච්ඡාවකින් පසු රුපියල් පනස්ලක්‍ෂයක මුදලකට දියමන්තිය ආපසු දීමට රේගු නිලධාරීන් පිරිසක් එකඟ වූහ. ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට ඇති එකම මාර්ගය එය බව තේරුම් ගත් මොරිසන් රේගු නිලධාරීන්ගේ යෝජනාවට කැමැත්ත පළ කළේය.

‘‘මගේ ළඟ මේ වෙලාවේ එච්චර මුදලක් නැහැ. මං දවස් දෙක තුනක් ඇතුළත සල්ලි ටික අරන් ඇවිත් මේක බේරුම් කරන්නම්.’’

දියමන්තිය රේගු නිලධාරීන් භාරයේ තබාගෙන මොරිසන් මුදාහැරීමට කටයුතු කළහ. රුපියල් පනස්ලක්‍ෂයක මුදලක් රැගෙන එන පොරොන්දුව මත මොරිසන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටවුණේය.

මේ අතරතුර දියමන්ති වංචාවට හවුල් වූ දූෂිත රේගු නිලධාරීන් පිරිස දියමන්තියේ වටිනාකම හොර රහසේම තක්සේරු කළහ. අනර්ඝ දියමන්තිය රුපියල් කෝටි ගණනක් වටිනා එකක් බව දූෂිත රේගු නිලධාරීන් දැන ගන්නේ එහි නියම තක්සේරු වටිනාකම හෙළිකර ගැනීමෙන් පසුවය. රුපියල් පනස් ලක්‍ෂයක මුදල සොයා ගැනීමෙන් පසු මොරිසන් රේගු නිලධාරීන් පිරිස දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැත. දූෂිත රේගු නිලධාරීන් පිරිස මොරිසන්ට ලබා දී තිබූ සියලූ දුරකථන අංක ඒ වන විට විසන්ධි කර දැමීමට කටයුතු කර තිබුණේය.

තමන් රේගු නිලධාරීන්ගේ උගුලේ හසු වී ඇති බව තේරුම් ගත් මොරිසන් අන්දමන්ද වුණේය. නන්නාඳුනන රටකදී මේ ආකාරයේ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ නිසා මොරිසන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටියේය. කළ යුත්තේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකිව මොරිසන් දස අතේ කල්පනා කරන්නට වුණේය. රණසිංහ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් විවිධ කූට ව්‍යාපාරවලට සම්බන්ධ වූ පුද්ගලයෙකි. විවිධ ජාවාරම්වල නිරත වීම නිසා මොරිසන් ද කාලයක සිට රණසිංහ දැන හඳුනාගෙන සිටියේය. රණසිංහ ශ‍්‍රී ලාංකිකයකු බව දැනගත් මොරිසන් ඒ මොහොතේම ඔහුට දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය. ‘‘මට ලොකු කරදරයක් වෙලා තියෙන්නෙ. මේක කොහොම හරි සෙට්ල් කර ගත්තේ නැත්නම් මට සියදිවි හානිකර ගන්න වෙන්නේ. රණසිංහ මට මේ වෙලාවෙ උඹේ උදව් ඕනේ.’’

මොරිසන් තමන් පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබඳව රණසිංහට කරුණු අවබෝධ කර දුන්නේය. රණසිංහ යනු එවකට මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියේ ප‍්‍රබල පෙළේ සාමාජිකයෙකි. ඔහු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මධුෂ් සමඟ විවිධ ජාවාරම් සහ නීති විරෝධී ක‍්‍රියාවල නිරත වෙමින් මුදල් ඉපයුවේය. මොරිසන් පත්ව ඇති අපහසුතාව තේරුම් ගත් රණසිංහ ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් වුණේය.

‘‘හරි හරි ඔයා කලබල වෙන්න එපා. මං ඔයාට උදව් කරන්නම්. මම අපේ බොස්ට මේක කියලා එයාවත් වැඬේට හවුල් කරගමු. මගේ බොස්ට ලංකාවෙ කරන්න බැරි දෙයක් නැහැ’’

රණසිංහ තම මිතුරා වූ මොරිසන්ගේ සිත සැනසුවේය. දියමන්ති කතාව පිළිබඳව රණසිංහ තම කල්ලියේ ප‍්‍රධානියා වූ මාකඳුරේ මධුෂ් දැනුවත් කළේ ඉන් පසුවය. රණසිංහගේ කථාවට සාවධානව සවන් දුන් මාකඳුරේ මධුෂ් මොහොතක් කල්පනා කළේය. ‘‘හරි අපි වැඬේ භාරගමු. මේක ලොකු බිස්නස් එකක්. අනික මේ දියමන්තිය ගොඩක් වටිනවා. ඒ නිසා අපිට ලොකු ගාණක් ඕනෙ මේ වැඬේට. මං කොහොම හරි දියමන්තිය හොයලා ඒක මොරිසන්ගෙ අතට අරගෙන දෙන්නම්.’’

දියමන්තිය සොයාදීමේ කොන්ත‍්‍රාත්තුව භාරගත් මධුෂ් ඒ වෙනුවෙන් ලොකු මුදලක් බලාපොරොත්තු වුණේය. රණසිංහ මේ පණිවිඩය මොරිසන්ට දැනුම් දුන්නේය. මොරිසන් මේ පිළිබඳව පැටි‍්‍රක් සමගද සාකච්ඡා කළේය. තමන් පත්ව ඇති අසරණ තත්ත්වය තේරුම් ගෙන සිටි මොරිසන් මෙන්ම පැටි‍්‍රක් ද මධුෂ්ගේ යෝජනාවට කැමති වූහ. දුරකථන සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. අවසානයේදී දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණියහ. දියමන්තිය සොයාදීම සඳහා මධුෂ්ට රුපියල් කෝටි 40 ක් ලබා දීමට මොරිසන් සහ පැටි‍්‍රක් එකඟ වූහ. ඊට අමතරව රණසිංහට සහ මේ මෙහෙයුමට සම්බන්ධ වන පුද්ගලයන්ට ද මුදල් ලබා දීමට මොවුන් කැමැත්ත පළ කළහ. දියමන්තිය සෙවීමේ මෙහෙයුම ආරම්භ වන්නේ ඉන් පසුවය. ඩුබායි සිටි මධුෂ්ගේ ගෝලයා එහෙමත් නැත්නම් මෙහෙයුමේ අතරමැදියා වූ රණසිංහ ශී‍්‍ර ලංකාවට පැමිණියේය.

ඒ වන විටත් දියමන්තිය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා මධුෂ් තම පාතාල කල්ලියේ සාමාජිකයන් කීපදෙනකු යොදවා සිටියේය. දියමන්තියේ නියම වටිනාකම තක්සේරු කරගෙන සිටි දූෂිත රේගු නිලධාරීන් පිරිස එය අලෙවි කර මුදල් උපයා ගන්නට සැලසුම් සකස් කළහ. දියමන්තිය සොරා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටි රේගු නිලධාරියකුගේ ඥාතියකු මහා පරිමාණයෙන් මැණික් ව්‍යාපාර කරගෙන ගියේය. රේගු නිලධාරියා සෙසු නිලධාරීන්ගේද කැමැත්ත ඇතිව දියමන්තිය අලෙවි කිරීමේ කාර්ය මැණික් ව්‍යාපාරිකයා වෙත භාර දුන්නේය. කෝටි 700ක දියමන්තිය මහරගම ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයා අතට පත්වන්නේ ඒ ආකාරයටය. මහරගම මැණික් ව්‍යාපාරිකයා ජයේ මුදලාලිය. රුපියල් කෝටි 700ක දියමන්තිය අලෙවි කිරීමේ කටයුත්තට අතගැසූ ජයේ මුදලාලි තමන් දන්නා කියන ව්‍යාපාරිකයන් මාර්ගයෙන් හොඳ ගැනුම්කරුවකු සොයන්න පටන් ගත්තේය. මාස කීපයක් තිස්සේ මධුෂ්ගේ ගෝලබාලයන් දියමන්තිය සොයමින් රටපුරා කරක් ගසමින් සිටියහ. අවසානයේදී මහරගම ඇරැව්වල ව්‍යාපාරිකයා අලෙවි කිරීමට සූදානම් වන දියමන්තිය පිළිබඳ තොරතුරු මධුෂ්ගේ ගෝලයන්ගේ කණ වැකිණි.

‘‘මධුෂ් අයියා අපි බඩු තියෙන තැන හොයාගත්තා. මහරගම ජයේ මුදලාලි දියමන්තිය විකුණන්න හදන්නේ. අපේ සෙට් එකක් දාලා දියමන්තිය උස්සමු.’’

දියමන්තිය සෙවීමේ කාර්ය භාර දී තිබූ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නාලක ඩුබායිහි වෙසෙන මධුෂ්ට දුරකථනයෙන් කතා කර තමන් සොයාගත් සියලූ තොරතුරු හෙළි කළේය. ‘‘මේක කලබල වෙලා කරන්න බැහැ. හොඳ ප්ලෑන් එකක් ගහන්න ඕනෙ. එහෙම නොවුනොත් අපිට දියමන්තිය මිස් වෙන්න පුළුවන්. උඹලා සෙට් වෙලා හිටපල්ලා. මම ප්ලෑන් එක දෙන්නම්....’’ මධුෂ් සිය ගෝලබාලයන්ට කීවේය. කිසියම් අපරාධයක් සඳහා ඉතාම සූක්‍ෂම ආකාරයට සැලසුම් සකස් කිරීමේ උපන් හැකියාවක් මධුෂ් සතු විය. මධුෂ් නායකත්වය දුන් ප‍්‍රහාර, අපරාධ සියල්ල සඳහාම සැලසුම් සකස් කළේ ඔහු විසින්මය. කළුතර එතනමඬලදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කර සමයං ඇතුළු හත්දෙනකු මරා දැමීමේ සැලසුමේ මහා මොළකරු වූයේ මධුෂ් ය. පිළියන්දල නගර මධ්‍යයේදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු නිලධාරීන්ට ප‍්‍රහාර එල්ල කිරීමේ සැලසුම ද මධුෂ්ගේය. මේ ආකාරයට මධුෂ් කළ සැලසුම් එකක්වත් වැරදුණේ නැත. දියමන්තිය කොල්ලකෑම සඳහා ද මාකඳුරේ මධුෂ් ඩුබායි සිට සැලසුමක් සකස් කළේය.

මේ සැලසුම සඳහා මාකඳුරේ මධුෂ් තම පාතාල කල්ලියේ හොඳම වැඩකාරයන් කීපදෙනකු සම්බන්ධ කර ගත්තේය. මාතර රොටඹේ පදිංචි තුසිත මධුරංග මධුෂ්ගේ පාතාල කල්ලියේ කෙරුම්කාරයෙකි. මිනීමැරුම් කොල්ලකෑම්, කප්පම් ගැනීම්, පහරදීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් දකුණු පළාතම හොල්ලාගෙන සිටි තුසිත මධුරංග පාතාලයේ කුප‍්‍රකටව සිටියේ මාතර මල්ලී යන අන්වර්ථ නාමයෙන් ය.

දියමන්තිය කොල්ලකෑමේ මෙහෙයුමේ ප‍්‍රධානියකු ලෙස මාතර මල්ලී සම්බන්ධ කර ගත් මධුෂ් ඔහුට මේ සැලසුමේ සියලූ විස්තර ලබා දුන්නේය. කලක් බන්ධනාගාරගතව සිටි මාතර මල්ලී මේ දියමන්ති කොල්ලය ක‍්‍රියාත්මක කිරීමට මාස කීපයකට උඩදී ඇප ලබාගෙන මාතරට පැමිණ සිටියේය. දකුණු පළාතේ ප‍්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමකගේ රියැදුරු ලෙස රැකියාවක් කරමින් සිටි මාතර මල්ලී මධුෂ්ගෙන් කිසියම් කොන්ත‍්‍රාත්තුවක් ලැබෙන තුරු බලා සිටියේය. කැලූම් ඉන්දික යනු මධුෂ්ගේ තරුණ කාලයේ සිට ඇසුරු කළ සමීපතම මිතුරකු විය. මධුෂ් මාකඳුර නගරයේ බස් රථ රියැදුරකු ලෙස රැකියාව කරද්දී ඒ බස් රථයේ කොන්දොස්තරකම කළේ කැලූම් ඉන්දිකය. පසු කලක මධුෂ් සමඟ එක්ව අපරාධ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වූ කැලූම් ඉන්දික හෙරොයින් ජාවාරම හරහා මහා ධනස්කන්ධයක් උපයා ගෙන සිටින පුද්ගලයෙකි. කැලූම් ඉන්දික පාතාලයේ කුප‍්‍රකටව සිටියේ ‘කැවුමා’ යන අන්වර්ථ නාමයෙන්ය. දියමන්තිය කොල්ලකෑමේ මෙහෙයුමේ තවත් ප‍්‍රධානියකු ලෙස කැවුමා සම්බන්ධ කර ගන්නට මධුෂ් පියවර ගත්තේය. ‘‘මේ වැඬේට විශ්වාසවන්තම සෙට් එකක් සම්බන්ධ කර ගන්න ඕනෙ. වැඬේ පොඞ්ඩක් හරි ගහලා ගියොත් අපිට දියමන්තිය නැතිව යනවා. මධුෂ් තම කල්ලියේ සමීපතමයන්ට කීවේය. දියමන්ති කොල්ලය පිළිබඳව මධුෂ් කැවුමා ද දැනුවත් කළේය. මධුෂ් මෙහෙයුම ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මාතර මල්ලී සහ කැවුමා දැනුවත් කළේය. ‘‘මේ වැඬේ උඹලා හරියට කරන්න ඕනේ. උඹලා දෙන්න ගැන තියෙන විශ්වාසය නිසයි මං මේ වැඬේ භාරදෙන්නේ. උඹලට තියෙන්නේ පොලිසියයි නාකොටික් එකයි වගේ ගිහින් ගේම් එකක් දෙන්න. උඹලට ඕන කරන හැම දෙයක්ම මං දෙනවා. දියමන්තිය අතට ගත්තට පස්සෙ මම උඹලා දෙන්නට ලක්‍ෂ 50 ගානෙ දෙනවා...’’

මධුෂ් සැලසුම ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මාතර මල්ලී මෙන්ම කැවුමා ද දැනුවත් කළේය. මෙහෙයුම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 2 බැගින් මුදල් ද ලබා දුන්නේය. මෙහෙයුමට අවශ්‍ය කරන පොලිස් නිල ඇඳුම් මෙන්ම ගිනි අවි ද සපයා දීමට මධුෂ් කටයුතු කළේය.

මේ අතර මධුෂ් රණසිංහට දුරකථනයෙන් කථා කළේය. දියමන්තිය කොල්ලකෑමේ මෙහෙයුම සඳහා සියල්ල සූදානම් බව ඔහු දැනුම් දුන්නේය.

‘‘මට මේ වැඬේට තව සුද්දෙක්ව ලෑස්ති කරලා දෙන්න ඕනෙ. විශ්වාසවන්ත කෙනෙක් හොයලා දෙන්න. ඉතිරි හරිය මං බලාගන්නම්.’’

මධුෂ් රණසිංහට කීවේය. මධුෂ්ගේ උපදෙස් මත මෙහෙයුම සඳහා තවත් ඔස්ටි‍්‍රයන් ජාතිකයකු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය. ඒ ඔස්ටියන් ජාතිකයා ගෙන්වා ගෙන තිබුණේ මොරිසන් හරහාය. ඔහු නමින් ජෝර්ජ් ය.

2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ අවසන් සතියේ දියමන්තිය කොල්ලකෑමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලූ සැලසුම් ඒ වන විට සකස් කිරීමට මධුෂ් ඩුබායි හි සිට කටයුතු කර තිබුණේය. මෙහෙයුමේ මුල් අදියර ක‍්‍රියාත්මක කළ රණසිංහ ධනවත් ව්‍යාපාරිකයකුගේ වෙස් ගෙන මහරගම ජයේ මුදලාලි හමුවන්නට යන්නේ දියමන්තිය විකිණීම පිළිබඳ ජාත්‍යන්තර තැරැව්කාරයකු ලෙසය. ඒ ආකාරයට ජයේ මුදලාලි මුණගැසී ඔහු සමඟ මිතුදමක් ගොඩනඟා ගන්නට රණසිංහ කටයුතු කළේ මධුෂ්ගේ උපදෙස් මතය.

‘‘මගේ ළඟ ඉන්නවා දියමන්ති හොයන ෆොරිනස්ලා කීපදෙනෙක්ම. දියමන්තිය හොඳ නම් ගාණ කීයක් වුණත් ඒ අයට ප‍්‍රශ්නයක් නැහැ.’’ රණසිංහ කීවේය. ඒ වන විට කැරට් 720 ක බරින් යුත් දියමන්තිය පිළිබඳව සියලූ විස්තර රණසිංහ විසින් ලබා ගෙන තිබුණේය. 2018 වර්ෂයේ අගෝස්තු මස 03 වැනිදා රණසිංහ ඔස්ටි‍්‍රයා ජාතිකයකු වූ ජෝර්ජ් සමඟ මහරගම ඇරැව්වල පිහිටි ජයේ මුදලාලිගේ නිවස වෙත ආහ.

‘‘මුදලාලි මේ මිස්ටර් ජෝර්ජ් මං මෙයත් එක්ක ඩුබායිවල ජෙම් බිස්නස් කරනවා. දියමන්ති කිව්වොත් මිනිහා පිස්සු වැටෙනවා. මේ දියමන්තිය මිනිහට වැදිලා තියෙන්නේ. ගාණ කීයක් වුණත් ඒක මිනිහ ගන්නවා.’’

රණසිංහ ඇදබෑ බේගල් සියල්ල ජයේ මුදලාලි හිස් මුදුනින් පිළිගත්තේය. තමන් ලබා දුන් ලන්සුවට දියමන්තිය මිලදී ගන්නට ඔස්ටි‍්‍රයන් ජාතිකයා කැමැත්ත පළකිරීම ගැන ජයේ මුදලාලි සිටියේ පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගොසින් ය.

‘‘දියමන්තිය පරීක්‍ෂා කරන්න තව මැෂින් කීපයක් පාවිච්චි කරන්න ඕනෙ කියලා ජෝර්ජ් කියනවා. අපි ලබන 05 වැනිදා ආයෙත් එනවා. එදාට අනිවාර්යයෙන්ම මේ බිස්නස් එක අපි කරනවා. ඒ නිසා මේ දියමන්තිය කාටවත් පෙන්වන්න එපා.’’

රණසිංහ ජයේ මුදලාලිට කීවේය. ඉංග‍්‍රීසි භාෂාව හරිහැටි උච්චාරණය කිරීමට නොහැකි නිසා ජෝර්ජ් කියූ හැම වචනයක්ම පරිවර්තනය කළේ රණසිංහය. 05 වැනිදා නැවත පැමිණෙන පොරොන්දුව පිට රණසිංහ සහ ජෝර්ජ් ජයේ මුදලාලිගෙන් සමුගත්හ. ජයේ මුදලාලි තමන් දන්නා හඳුනන මැණික් ව්‍යාපාරිකයන් කීපදෙනකුටම මේ බව කීවේය. ඒ මැණික් ව්‍යාපාරිකයන් ද තමන් සතුව ඇති වටිනාකමෙන් අධික මැණික් ගල් කීපයක් ඔස්ටි‍්‍රයන් ජාතිකයාට පෙන්වීමට රැගෙන ඒමට ජයේ මුදලාලි සමග කතා කර ගත්හ.

අගෝස්තු 05 වැනිදා සවස දියමන්තිය කොල්ල කෑම සඳහා මධුෂ් සියලූ කටයුතු සම්පාදනය කර තිබුණේය. ඔහු මාතර මල්ලී දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය.

‘‘දැන් සේරම ලෑස්ති කරලා තියෙන්නේ. උඹලා නාකොටික් එකෙන් විදිහට ගෙට පැනලා දියමන්තිය උස්සන්න ඕනෙ. උඹලා ගෙට පනින වෙලාවෙ එතන ඉන්නේ අපේ සෙට් එකක්. සුද්දෙකුයි රණසිංහ කියලා මගේ එකෙකුයි එතන ඉන්නවා. උන්ට කිසිම කරදරයක් කරන්න එපා. වැඬේ හරියට කරපල්ලා’’ මධුෂ් අවසන් උපදෙස් මාලාව මාතර මල්ලීට සහ කැවුමාට ලබා දුන්නේය. දියමන්තිය කොල්ලකෑමේ මෙහෙයුම සඳහා මධුෂ්ගේ ගෝලබාලයන් හයදෙනෙක් සූදානම්ව සිටියහ. කොල්ලය සඳහා අවශ්‍ය වූ පිස්තෝලයක් පොලිස් නිල ඇඳුම්, අත් විලංගු ඇතුළු සියලූ දෑ මධුෂ් විසින් සපයා දී තිබුණේය.

රණසිංහ ජෝර්ජ් නමැති ඔස්ටි‍්‍රයන් ජාතිකයා කැටිව මහරගම ඇරැව්වල පිහිටි මැණික් ව්‍යාපාරිකයාගේ නිවස වෙත ආවේය. ඒ වන විට ජයේ මුදලාලිගේ හිතවත් තවත් ව්‍යාපාරිකයන් කීපදෙනකු ද රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් තොගයක් රැගෙන පැමිණ සිටියේ ඔස්ටි‍්‍රයන් ජාතිකයාට පෙන්වීම සඳහාය. ‘‘මගේ යාළුවෝ ළඟත් වටිනා ගල් ටිකක් තියෙනවා. අපේ වැඬේ ඉවර වෙලා ඒ ගල් ටිකත් බලමු....’’

ජයේ මුදලාලි රණසිංහට කීවේය. දියමන්තියට අමතරව තවත් මැණික් තොගයක් තවත් ටික වේලාවකින් තම කල්ලිය අතට පත්වනු ඇතැයි සිතූ රණසිංහ යටිසිතින් තව තවත් සතුටු වුණේය. කැරට් 720 ක බරින් යුත් දියමන්තිය නැවතත් පරීක්‍ෂා කිරීමේ කටයුතු ජෝර්ජ් විසින් ආරම්භ කළේය. ජයේ මුදලාලි මෙන්ම ඔහුගේ මිතුරන් ද දත කට පියාගෙන මේ කාර්ය දෙස මහත් ඕනෑකමින් බලා සිටියහ. ඒ සමඟම කොහේදෝ සිට ආ සුදු පැහැති වෑන් රථයක් ජයේ මුදලාලිගේ නිවස ඉදිරිපිට එක්වරම නතර කළේය. වෑන් රථයෙන් බැසගත් පොලිස් නිල ඇඳුම් ඇඳගත් කීපදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන්් එකවරම ජයේ මුදලාලිගේ නිවසට ඇතුළු වූහ. මුදලාලි අන්දුන් කුන්දුන් වී සිදුවන්නේ කුමක් දැයි බලා සිටියේය.

‘‘කවුරුත් කළබල කරන්න එපා. අපි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන්’’

පොලිස් නිලධාරියකු ලෙස වෙස්ගෙන සිටි මාතර මල්ලී පිස්තෝලයක් එල්ල කරමින් කෑගැසුවේය.

‘‘මේ සුද්දා ඉන්ටර්නැෂනල් හෙරොයින් බිස්නස්කාරයෙක්. අපි කාලයක් තිස්සේ මිනිහව ෆලෝ කර කර හිටියේ. අපට අද තොරතුරක් ආවා මෙතන ඩ‍්‍රග් ඞීල් එකක් වෙනවා කියලා. ඒ නිසා මෙතන කවුරුත් කලබල කරන්න එපා. අපිට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න. මොහොතකට පොලිස් නිලධාරියකු වූ මාතර මල්ලී නමැති පාතාල මැරයා ඔස්ටි‍්‍රයා ජාතිකයාගේ දෑතට විලංගු දැමුවේය.

‘‘අපට මේ ගේ සර්ච් කරන්න ඕනෙ. ඒකට අපට ඉඩ දෙන්න.’’

තම නිවසට පැමිණ සිටින දෙපාර්ශ්වයම පාතාල මැරයන් බව නොදත් ජයේ මුදලාලි එකවරම දියමන්තිය තමන් අතට ගෙන එය සඟවා ගන්නට උත්සාහ කළේය. ඒ දුටු මාතර මල්ලී ජයේ මුදලාලිගෙන් දියමන්තිය ඩැහැගන්නට උත්සාහ ගත්තේය.

‘‘මේක මගේ දියමන්තිය. මෙතන කුඩු බිස්නස් වෙන්නෙ නැහැ. අපි හොඳ නම්බුකාර මැණික් බිස්නස්කාරයො.’’ ජයේ මුදලාලි කීවේය. තම නිවස පරීක්‍ෂා කරනවාට ජයේ මුදලාලි විරුද්ධ වුණේය. ඒ සැණින් මාතර මල්ලී ඔහු අත තිබූ පිස්තෝලයේ මිටෙන් ජයේ මුදලාලිගේ හිසට පහරක් එල්ල කළේය. අනපේක්‍ෂිතව එල්ල වූ ප‍්‍රහාරයෙන් ජයේ මුදලාලි බිම ඇද වැටුණේය. ඔහු අත තිබූ රුපියල් කෝටි 700 ක් වටිනා කැරට් 720 ක බරින් යුත් දියමන්තිය මාතර මල්ලී උදුරා ගත්තේය. ජයේ මුදලාලිට සහ ඔහුගේ මිතුරන් වූ මැණික් ව්‍යාපාරිකයන් කීපදෙනා කාමරයකට දමා සිරකළ පාතාල මැරයන් පැය භාගයක් තිස්සේ නිවසේ තිබූ තවත් වටිනා දේපොළ කොල්ල කෑහ. විකිණීමට ගෙනවිත් තිබූ මැණික් ගල් තොගයක් ද කොල්ලකරුවන් තමන් සතුකර ගත්හ.

ඒ වන විටත් ජයේ මුදලාලි සිතා සිටියේ තම නිවසට පැමිණ සිටින්නේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කියාය. දියමන්තිය ඇතුළු වටිනා දේපළ සියල්ල කොල්ල කෑ මාතර මල්ලී ඇතුළු පිරිස ඔස්ටි‍්‍රයන් ජාතිකයා සහ රණසිංහ ද රැගෙන පලා ගියහ. මාතර මල්ලී ඇතුළු මැරයන් මහරගම ප‍්‍රදේශයේදී ඔවුන්ව අතහැර යන්නට කටයුතු කළහ. ‘‘උඹල ආපහු මුදලාලිගෙ ගෙදරට පලයල්ලා. අපි නාකොටික්කාරයො කියලා කියාපල්ලා. එතන මොකද වෙන්නෙ කියලා බලල කෝල් එකක් දීපං.’’

මාතර මල්ලී තම සැලසුමේ අනෙක් පාර්ශ්වකරුවන් බවට පත්ව සිටි රණසිංහට කීවේය. ඔස්ටි‍්‍රයන් ජාතිකයා සහ රණසිංහ ඒ මොහොතේම ඇරැව්වල පිහිටි මැණික් ව්‍යාපාරිකයාගේ නිවස වෙත දිව ආහ. ඒ වන විටත් ජයේ මුලලාලි මේ දියමන්ති කොල්ලය පිළිබඳව පිළියන්දල පොලිසියට මෙන්ම මහරගම පොලිසියට ද දැනුම් දී තිබුණේය.

ඔස්ටි‍්‍රයන් ජාතිකයා සහ රණසිංහ ජයේ මුදලාලිගේ නිවස වෙත නැවත ආවේ ඔවුන් වෙත එල්ල වී ඇති සැකය මඟහැරීම සඳහා ය. පොලිසිය දියමන්ති කොල්ලය පිළිබඳ විමර්ශන ඇරඹූහ. දියමන්තිය තමන්ට ලැබුණු ආකාරය ගැන ජයේ පොලිසියට නොයෙකුත් කතා කීවේය.

‘‘මං කාලයක් අරාබියේ අවන්හලක වැඩ කළා. ඒ අවන්හලේ බිම සකස් කරන්න පස් වගයක් ගෙනත් තිබුණා. ඒ පස් ගෙනත් තිබුණේ දකුණු අප‍්‍රිකාවෙන්. මට මේ දියමන්තිය හම්බවුණේ ඒ පස් ගොඬේ තිබිලා. මං මේ දියමන්තිය ලංකාවට එව්වේ කුරියර් කරලා. මං කාලෙක ඉඳලා මේක විකුණන්න ට‍්‍රයි කළා. ඒ අතරේ තමයි මේ අය මේක ගන්න ආවේ.’’ ජයේ මුදලාලි දියමන්තිය ගැන එක එක කතා කීවේය. එහෙත් එය සත්‍ය වශයෙන්ම ලැබුණු ආකාරය දැනගෙන සිටියේ ජයේ මුදලාලි පමණයි. දියමන්තිය කොල්ල කෑ දිනට පසු දිනම ඔස්ටි‍්‍රයන් ජාතිකයන් දෙදෙනා සහ රණසිංහ එය රැගෙන ඩුබායි දේශයට පළා ගියහ. කොල්ල කෑ දියමන්තිය මධුෂ් අතට පත් වුණේ ඒ ආකාරයටය. පසුය එය අප‍්‍රිකානු ජාතික පැටි‍්‍රක් වෙත මධුෂ් ලබා දුන්නේ දියමන්තිය අලෙවි කිරීමෙන් පසු තමන්ට ලැබෙන රුපියල් මිලියන 400 ක කොටස පිළිබඳ එකඟත්වයක් ඇති කරගෙනය. දියමන්ති කොල්ලය පිළිබඳව විමර්ශන පැවැත්වූ පොලිසිය මෙය රාජකීය ගේමක් බව දැන ගත්තේ කොල්ලය සිදු වී ටික දිනක් ගත වූ පසුවය. ඒ වන විට මේ දියමන්තිය පිළිබඳව නොයෙකුත් කතා රටපුරා පැතිර යමින් තිබුණේය. පිරිසක් කීවේ දියමන්තිය රටින් රැගෙන ගොස් ඇති බවය. තවත් පිරිසක් කීවේ එය තවමත් ශ‍්‍රී ලංකාවේ තිබෙන බවය. දියමන්ති කොල්ලය සිදු වී සති තුනකට පමණ පසුව පිළියන්දල පොලිසිය හෙරොයින් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත්තේය. ඔහු මධුෂ්ගේ ගෝලයකු බව පසුව හෙළිවුණේය.

‘‘සර් ඔය අමල් පෙරේරයි, රයන් වැන්රෝවන් කියන නළුවයි මධුෂ්ගෙ හොඳ යාළුවො. දියමන්තිය ඒ අයගේ මාර්ගයෙන් ඩුබායිවලට ගෙන්න ගන්න ඇති.’’ හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් ලද තොරතුරු මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අමල් පෙරේරාගෙන් සහ රයන් වැන්රෝවන්ගෙන් ප‍්‍රශ්න කළහ. එහෙත් ඔවුන්ගෙන් වැදගත් තොරතුරක් හෙළිකර ගන්නට පොලිසිය සමත් වුණේ නැත.

මේ අතර දියමන්ති කොල්ලයට සම්බන්ධ වූ මාතර මල්ලී ද පොලිසියට කොටු වුණේය. මාතර මල්ලීගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ දියමන්තිය ඩුබායි දේශයට රැගෙන ගිය බවය.

හේමන්ත රන්දුණු
Divaina

No comments:

Powered by Blogger.