Header Ads

Breaking News
recent

බ්‍රැන්ඩික්ස් පව්වලට ගුවන් හෝ යුද හමුදාවට කරගහන්න වෙයි?

මෙරට කොරෝනා දෙවැනි රැල්ලට හේතුව ගුවන් හමුදාවේ ඇන්ටනොව් ගුවන් යානා තුනක් අලුත් වැඩියාවට පැමිණි යුක්රේන තාක්ෂණික නිලධාරීන් කණ්ඩායම බවට බුද්ධි අංශවලින් තොරතුරු වාර්තාවීමත් සමඟ අදාළ නොසැලැකිල්ල සම්බන්ධයෙන් යුදහමුදාවට හා ගුවන් හමුදාවට ඇගිල්ල දිගුවෙමින් ඇතැයි වාර්තා වේ.

එකොළොස් දෙනෙකුගෙන් යුත් මේ පිරිස නවාතැන් ගෙන සිටියේ යැයි කියන ස්ථාන දෙකක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා මේ වන විට ඉදිරිපත්ව තිබේ.

ඉන් එකක් ලෙස දැක්වෙන්නේ සීදූව රමාඩා හෝටලයයි.

තවත් පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ පිරිස නවාතැන්ගෙන සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ බවයි.

කෙසේවුවද, මේ පිරිස මේවන විට රටින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

එක් පුවත්පතක් මේ පිරිස තුර්කින් පැමිණි බව අනාවරණය කරන අතර තවත් පුවත්පතක් මෙය යුක්රේනයෙන් පැමිණි බව කියා සිටී.

මේ අතර සීදූවේ රමාඩා හෝටලයේ සාමාන්‍යාධිකාරී අශෝක ජයමාන්න නැමැත්තා සිය හෝටලයේ මොවුන් නවාතැන් ගෙන සිටි බවත් අනාවරණය කර ඇත.

එම හෝටලයේ පස්දෙනෙකුට මේවන විට කොරෝනා ඇති බවත් ඔහු පවසා තිබේ.

කෙසේවුද, ජයමාන්න මහතා කියා සිටින්නේ රජය විසින් දෙයාකාරයකට නීති පැණවීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

ජයමාන්න මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී.
 මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත මෙසේ වාර්තා කර තිබිණි.

"මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.”

බ්‍රැන්ඩික්ස් කොරෝනා ආවේ විශාඛාපට්නම්වලින් ආ "ඡොකී"

මේ අතර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේ මහතා රාවයට "“බ්‍රැන්ඩික්ස් පොකුර” මතුකරන අයිතිවාසිකම් අර්බුදය” යන සිරසින් ලියූ ලිපියක දැක්වෙන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඛේදවාචකයට මූලිකම හේතුව වූයේ සේවක සේවිකාවන්ට වෘත්තීය සමිතියක් ලෙස සංවිධානය වන්නට තිබූ අයිතිය බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වය විසින් උල්ලංඝනය කිරීම බවයි.

එය සනාථ වන්නේ එහි ආසාදිතයින් සම්බන්ධව තොරතුරු විශ්ලේෂණයක යෙදුණු මෙරට ප්‍රධාන වසංගතරෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීරගේ නිරීක්ෂණ මගින්බවද පැවසේ.

“ආසාදිතයැයි සනාථ වූ පළමු සේවිකාවගේ රෝග ලක්ෂණ සැප්තැම්බර 28 වැනිදා හඳුනා ගත්තද සැප්තැම්බර් 20 වැනිදා සිට ස්වසන පද්ධතියේ රෝග තිබූ සේවක සේවිකාවන් කම්හලේ සිටිය බව සේවකයින්ගේ විස්තර පරීක්ෂා කිරීමේදී අපට දැන ගැනීමට ලැබුණා.” යැයි ඔහු මාධ්‍යයට කීයූ බවද එහි දැක්වේ.


ඉන් කියවෙන්නේ සැප්තැම්බර් 20 වැනිදා සිට රෝග ලක්ෂණ තිබූ සේවකයින් කිසිවකු බ්‍රැන්ඩික්ස් කළමනාකාරිත්වය විසින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු නොකළ බව යැයිද, පළමු ආසාදිත සේවිකාව වාර්තා වූයේ ඇයව ඔක්තෝම්බර් 03 වැනිදා රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ හෙයින්යැයිද එහිවේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

"මෙහි සේවකයින්ගේ කතාව අතිශය අමානුෂික කළමනාකාරිත්වයක් හෙළිදරව් කරන්නකි. වෛද්‍ය සුදත් සමරවීර කියූ ස්වසන පද්ධතියේ රෝග තිබූ සේවක සේවිකාවන් සැප්තැම්බර් 20 වන දින සිට තමන්ට අසනීප තත්ත්වය නිසා සේවය කළ නොහැකි යැයි කියූ විට පැනඩෝල් පෙති ලබාදී වැඩ කරන මෙන් කළමනාකරුවන් බලකර ඇත. අසනීප හෙයින් නිවාඩු ඉල්ලා සිටි විට හදිසි ඇණවුමක් ඇති නිසා නිවාඩු ලබාදිය නොහැකි යැයි නිවාඩු ලබා දී නැත.

මේ හදිසි ඇණවුම කුමක්ද? සනාථ නොවුණත් දැනට ඇති තොරතුරු අනුව විසාකාපට්නම් බ්‍රැන්ඩික්ස් කම්හලට ලැබුණු ඇමෙරිකානු “ජොකී” සන්නාහක ටී-ෂර්ට් ඇණවුම ඉන්දියාවේ නිෂ්පාදනය කළ නොහැකි වූවත් කෑදරකම නිසා එය මෙරට ඔවුන්ගේ මිනුවන්ගොඩ කම්හලට රැගෙන විත් ඇත. එය කෙසේ හෝ අවසන් කර ගැනීමට තිබූ හදිස්සිය නිසා කිසිම සේවකයකුට අසනීප තත්ත්වයක් නිසා හෝ නිවාඩු දීමට ඔවුහු සූදානම් නොවූහ. සුළු සංඛ්‍යාවකගෙන් පාලනය කර ගත හැකිව තිබූ කෝවිඞ්-19 වසංගතය ඔවුන්ගේ කම්හලේම 1,400 ක් පමණ ආසාදිත වන තෙක් පැතිරෙන්නට හේතුව එය ය.”

මේ අවන විට “ජොකී” යට ඇඳුම් මැසීමට අදාළ අමුද්‍ර්‍ය ගෙනාවේ ඉන්දියාවෙන් බවත්, ඒවායේ අමුතු දුර්ගන්දයක් හේතුවෙන් එහි සේවක සේවිකාවන් එම ඇඳුම් මැසීමට වැඩි කැමැත්තක් නොදැක්වූ බවත් මේ වන විට හෙළිව තිබේ.

-srilankamirror


No comments:

Powered by Blogger.