Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම පිළිබඳ එවකට ජනාධිපතිවරයා දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු ආරක්ෂක ලේකම් කියයි



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශය කළ පූර්ව අනතුරු ඇඟවීම පිළිබඳ එවකට ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට තමන්ට වගකීමක් තිබුණ බවත් එසේ නොකිරීම ගැන තමන් දැන් කණගාටු වන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.


මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ  නිලන්ත ජයවර්ධන යන මහත්වරු අතර පැවති සමීප ඇසුර නිසා තොරතුර පිළිබඳ ඔහු විසින් ජනපති දැනුම්වත් කරන්නට ඇතැයි තමන් සිතා සිටි බවයි පාස්කු ප්‍රහාරය පිලිබද  ජනාධිපති කොමිසමේදී සාක්ෂි දෙමින් කියාසිටියේ.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පස්වරුවේ පැමිණියේ හත්වෙනි දිනටයි.


මෙහිදී ජනාධිපති කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයාද වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව ආරක්ෂක ලේකම් වශයෙන් දැනුම්වත් කිරීමට පියවර ගත්තේද යන්නයි.


,ඊට පිලිතුරැදෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියාසිටියේ තමන් පියවර නොගත් බවයි.

මම ඒකට පිළිතුරු දෙන්න කලින් දෙයක් පැහැදිලි කරන්න ඕනේ. මම ආරක්ෂක ලේකම් ධූරය භාරගත්තට පස්සේ ජනාධිපතිතුමාව හම්බෙන්න ගියා. ඒ වෙනකොට මට රාජ්‍ය බුද්ධි සේවයෙන් පළවෙනි වරට බුද්ධි තොරතුරක් ලැබුණා. මම ඒ ගැන ජනාධිපතිවරයාට කිව්වා. එතකොට එතුමා ඇහුවා 'මොකක්ද හේමා.. ආ ඒක හරි. මට ඕක ගැන නිලන්ත කිව්වා' කියලා. ඊටපස්සෙ අවස්තාවකත් මට නිලන්ත බුද්ධි තොරතුරක් දුන්න. ඒ අවස්ථාවේත් මං ජනාධිපතිව හමුවෙලා ඒ තොරතුර ගැන කියන්න ගියාම එතකොටත් කිව්වා 'නිලන්ත මට ඔය ගැන කිව්වා හේමා..' කියලා. මං මේ ගැන නිලන්ත හමුවෙලා ඇහුවා 'මොකක්ද නිලන්ත මේ ක්‍රමවේදය' කියලා. එතකොට නිලන්ත කිව්වා 'මං සාමාන්‍යයෙන් හැම තොරතුරම ජනාධිපතිතුමාට කියනවා. ඒවගේම ආරක්ෂක ලේකම්ටත් කියනවා' කියලා. ඉතින් ස්වාමීනි මේ ප්‍රහාරය ගැන තොරතුර නිලන්ත ජනාධිපතිවරයාට කියන්න ඇති කියල මම ඒ නිසයි හිතුවේ. මං මේ ප්‍රහාරයට පසු ලේකම් ධූරයෙන් අස්වෙන බව දන්වන්න ජනාධිපති හමුවෙන්න ගිය වෙලාවෙත් මං මෛත්‍රීපාල මහත්මයාගෙන් ඇහුවා 'සර් නිලන්ත හැම තොරතුරක්ම කියන එකේ මේ තොරතුර දැනුම් දුන්නේ නැත්ද..?' කියල. එතකොට මෛත්‍රීපාල මහත්තයා පත්තරේ බල බල හිටියේ. මං අහපු දේට කිසිම උත්තරයක් නොදී පත්තරේ කියවගෙන ගියා."


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු  ප්‍රශ්න කලේ  ඔබට අප්‍රේල් 20 වෙනිදා නිලන්ත තොරතුරක් දුන් අවස්ථාවේ එපිලිබද  ජනාධිපති දැනුවත්කලේදැයි නිලන්තගෙන් විමසුවේ නැද්ද යන්නයි.


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" නැහැ ස්වාමීනි. මං අහන්න ගියේ නැහැ. මං හිතන් හිටියේ එයා ඒක දැනුම් දෙන්න ඇති කියලා. නැත්නම් නිලන්තට තිබුණා ඒ වෙලාවෙ මට කියන්න ජනාධිපතිටත් කියන්න කියලා."


" අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම ඔබේ වගකීම වනාවේදැයි

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්න කලා.


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" ඔව් මගේ වගකීම තමයි. ඒත් ඒ වෙද්දි මා එක්ක තිබුණ විරසකය නිසා කියන්න ගියේ නැ."


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -

" ඔබ අවස්ථා ගණනක කිව්වා ඔය විරසකය ගැන. නමුත් සිංහල අවුරුද්දට ජනාධිපතිවරයාට සුබ පතන්න ඔබ දියතලාවෙ ඉදන් ආවා නේද. එතනදී ඔබව පැන්නුවේ නැනේ. බුලත් දීලා තරහ මරහා නැති කරගන්න එක සිරිතනේ. එතනදීවත් මේ විදෙස් තොරතුර ගැන කිව්වේ නැත්ද ?"


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" පැන්නුවෙනම් නැහැ. ඒත් ඒ අවස්ථාවේ කිව්වේ නැහැ. දැන් නිලන්ත ජයවර්ධන හැමතැනකම කියල තිබුණනේ 'මේක ලෙඩක්' කියලා. මට කිව්වනම් ඕක ලෙඩක් කියලා මං එන්න කියල අහනවනේ ලෙඩේට මොකක්ද කරන්නේ කියලා. මං කියන්නේ මේකට මං වගකියන්න ඕනෙ නම් නිලන්ත ඒකට තුන්ගුණයක් වහකියන්න ඕනේ ජනාධිපතිවරයා දැනුම්වත් නොකිරීම ගැන. "


ඔබත් වගකිව යුතු බව ඔබ පිළිගන්නවාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසා සිටයා.


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" ඔව් මාත් ටිකක් විතර වගකියන්න ඕනේ. ඒක මගෙන් වුණ අඩුපාඩුවක් ජනාධිපතිතුමාට කියන්න බැරි වුණ එක. මං ඒ ගැන කණගාටු වෙනවා. අපි මේකෙදී සාමුහිකව වගකියන්න ඕනේ"


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -

" අප්‍රේල් 21 රටේ ඇඳිරිනීතිය දැම්මනම් කවුරුහරි මැරෙනවා ද? "


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" මට ඇඳිරිනීතිය දාන්න බැහැ. ඒත් ජනාධිපති උපදෙස් දුන්නම් පුලුවන්. නමුත් පොලිස් ඇඳිරිනීතිය දැමිය නොහැකිය කියලා මා විසින් පොලිස්පතිට කියල උපදෙස් දී තිබුණේ නැහැ. මෙච්චර වැදගත් කියලා ඒ අයට තේරුණානම් ඇයි පොලිස්පති, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, ජාතික බුද්ධි ප්‍රධානි මාව ඇවිත් හමුනොවුනේ.. මෙ වගේ තොරතුරක් whatsapp එකේ එවල හරියනවාද..?"


-

" ඔවුන් අතින් අඩුපාඩුවක් වෙලා තිබුණත් ප්‍රධානියා විදියට ඔබට ගන්න පුලුවන් පියවර තිබුණා නොවේදැයි එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කලා.


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" ඔව් දරුවො වැරදි කළාම වැඩිහිටියො ඒවා හදන්න ඕනෙ. නමුත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඉතා ළඟින්ම ඇසුරු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා නිලන්තව මට අධීක්ෂණය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මට ඒකට අවස්ථාවක් හිමිවුණෙත් නැහැ."


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

" ජනපතිවරයා තොරතුර ලැබෙද්දිත්, ප්‍රහාරය වෙද්දිත් රටේ හිටියේ නැහැනෙ. තාත්තා ගෙදර නැතිවුණාම අම්මාට හරි දැනුවත් කළ යුතුයි නේ. ඇයි අගමැතිතුමාට නොකිව්වේ..?"


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" ඒක... මෙතන කරන්න බැ ස්වාමීනි..... ස්වාමීනි ඇතිවෙලා තිබුණ ව්‍යවස්ථා අර්බුදය නිසා අපිට කොයි අවස්ථාවකවත් අගමැති හමුවෙන්න අවස්ථාවක් නැති වුණා. "


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

" දේශපාලනට කරන්නත් රටක් ඕනේ නේද හේමසිරි මහත්මයා ?"


හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -

" වැඩේ කියන්නේ ඒක මට තේරුණාට දේශපාලකයන්ට ඒක තේරුණේ නැහැනෙ."


අනතුරුව හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම අද පෙරවරුව දක්වා කල් තැබුණා.


No comments:

Powered by Blogger.