Header Ads

Breaking News
recent

කොරෝනා නිසා දෙන ‘රුපියල් දස දහසක බඩු මල්ලෙන්’ ගසා කාලා – රාජ්‍ය සේවකයනුත් ලැජ්ජා සහගත වැඩක !

රුපියල් දස දහසක බඩු මල්ලක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බඩු මලු බෙදා දීමේදී සිදු වූ බව කියන දූෂණයක් සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මෙම අත්‍යවශ්‍ය ආහාර මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ ස.තො.ස මගින් ලබා ගැනීමට දැනුම් දී තිබූ නමුත් එසේ නොකොට සැපයුම්කරුවන්ගෙන් ලබාගෙන ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා. මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රගතිපුර ග්‍රාම නිලධාරී වසම හා බෝධිය පාරේ කොටසක් කොවිඩ් හේතුවෙන් වසා දමා තිබූ අතර පවුල් 1950කට මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මලු බෙදා හැරීමක් සිදු කර තිබුණා.

අවස්ථා තුනකදී භාණ්ඩ බෙදා හැර ඇති අතර එහි දී භාණ්ඩ මල්ල සමග බිල්පතක්ද ලබා තිබෙනවා.

මෙහි දී එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 25ක් ලබා දී ඇති අතර සැපයුම්කරුවන්ගෙන් ලබා ගෙන ඇති සහල් තොගය කිලෝග්‍රෑම් හතළිස් අටදහස් හත්සිය පනහකි. බිල්පතේ සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ක් ලෙස සඳහන් වුවද සහල් පාලන මිල රුපියල් 92ක් වෙයි. මේ ආකාරයට එළවළු වර්ගද අධික මිල ගණන්වලට ලබාගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස පාලන මිලද ඉක්මවමින් භාණ්ඩ රැසක් සහ තොග මිලද ඉක්මවමින් එළවළු මිලදී ගැනීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එම පැමිණිල්ලට අනුව අධිකාරියේ විමර්ශන නිලධාරීන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (12 වැනිදා) පස්වරුවේ පැමිණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


No comments:

Powered by Blogger.