Header Ads

Breaking News
recent

මෛත්‍රීගේ මෛත්‍රිය ගැන හිටපු පොලිස්පති පාස්කු කොමිසමට දුන් අවසන් සාක්ෂිය

බාහිරින් බලන විට හිටපු ජනාධිපතිවරයා තමන් සමඟ සුහද සම්බන්ධතාවයක් පවතින බව පෙනෙන්නට තිබුණු නමුත් අභ්‍යන්තරිකව තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා (26) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අවසන් වරට සාක්ෂි දෙමින් පැවසුවේය. 

පූජිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළේ ඔහුගේ සාක්ෂි විභාගය අරඹමින් කොමිසමේ සභාපතිවරයා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ජයසුන්දර මහත්මයා, ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා 2018 වර්ෂයේ ආරම්භය වෙද්දි ඔබ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සුහද සම්බන්ධතාවයක් තිබුනේ නැහැ කියලා. දැන් මම මේ පෙන්වන විඩියෝ දර්ශනයේ තියෙන්නේ 2018 අගෝස්තු මාසයේ වුණ සිදුවීමක්. මට පැහැදිලි කරන්න මේ වෙද්දිත් ඔබ සහ හිටපු ජනාධිපතිවරයා අතර සුහද සම්බන්ධයක් තිබුණා නේද? යනුවෙන් සභාපතිවරයා ප්‍රශ්න කළේය. 

අදාළ වීඩියෝ පටය සභාපතිවරයාගේ නියමයෙන් විවෘත කොමිසමේ දර්ශනය කළේය. 

ඊට පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා පැවසුවේ ''ස්වාමීනි, ඔය පොළොන්නරුවේ එළිමහන් ව්‍යායාම් ස්ථානයක් විවෘත කළ අවස්ථාවක්. ඔබතුමා කියන දේ මම පිළිගන්නවා. මේ විඩියෝ දර්ශනය බලන ඕනෑම කෙනෙක්ට මා සහ හිටපු ජනාධිපතිවරයා අතර සුහද සම්බන්ධතාවයක් තියෙනවා කියලා හිතෙනවා. ඔව් බාහිරින් බලද්දි එහෙම පෙනෙනවා තමයි ස්වාමීනි. නමුත් අභ්‍යන්තර තත්ත්වය සම්පුර්ණෙන්ම වෙනස්. මං ගැන තිබ්බ වැරදි අවබෝධයක් නිසා ඇතුළෙන් එතුමා මා සමග ලොකු අවුලකින් හිටියේ.''

මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි දෙමින් ජයසුන්දර මහතා කියාසිටියේ ," ස්වාමිනි ඔය අමනාපය ගොඩාක්ම වැඩිවුණේ දින 52 ආණ්ඩුව පටන් ගත්තත් එක්ක. ඒ දිනවල ජනාධිපති කාර්යාලය අසලට ආරක්ෂාව යොදවන පිළිවෙළවත් පොලිස්පතිවරයා හැටියට මම දැනගෙන හිටියේ නැහැ. මම විතරක් නෙමේ ඒ වෙද්දි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතාවත් ඒ පිළිබද දැනගෙන හිටියේ නැහැ. එක නිලධාරියෙක් විතරයි ඒ ඔක්කෝම බැලුවේ,'' යනුවෙනි. 

එමෙන්ම අත්තනෝමතිකව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු තමන්ට තම එකම පුතණුවන්ගේ විවාහ මංගල්‍යයට සහභාගිවීමට වගකිවයුතු බලධාරින්ගෙන් තෙවරක් අවසර ඉල්ලා සිටියද  අවස්ථාවක් නොලැබුණු බවද කොමිසම හමුවේ සාක්ෂි දෙමින්  හිටපු පොලිස්පතිවරයා ඉතා සංවේදී වෙමින් පවසන ලදී.   

මානුෂිය කටයුත්තක් සේ සලකා හෝ කිසිවෙකු තම පුතණුවන්ගේ විවාහ උත්සවයට සහභාගිවීමට අවස්ථාවක් ලබා නොදුන් බවද හෙතෙම කොමිසම හමුවේ සඳහන් කළේය. 

අනතුරුව හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාට සිය සේවාදායකයා වෙනුවෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමිවිය. 
 
ඒ අනුව මැද්දෙගොඩ මහතා ප්‍රථමයෙන් අසා  සිටියේ 2018 ඔක්තෝම්බර් මාසයෙන් පසුව පාස්කු ප්‍රහාරයෙන් පසු දිනය තෙක්  හිටපු ජනාධිපතිවරයා තමාව ආරක්ෂක කවුන්සලයට නොකැඳ වීම සම්බන්ධයෙනි.  

එසේ නම් තමා වෙනුවට වෙනත් නිලධාරියෙක් ආරක්ෂක කවුන්සිලය වෙත කැඳවා තිබුණේද යන්න මෙම කොමිසමට පැහැදිලි කරන ලෙසයි මැද්දෙගොඩ මහතා සිය සේවාදායකයාට ප්‍රශ්නය යොමු කළේ. 

''හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි දීමේදි සදහන් කළා මා වෙනුවට එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්මයාව ආරක්ෂක කවුන්සලයට කැදෙව්වා කියලා. නමුත් රවී සෙනෙවිරත්න මහතා මේ කොමිසමේ සාක්ෂි දෙද්දියි මම දැනගත්තේ එතුමාව කැදවලා තියෙන්නෙත් එකම එක දවසයි. එත් විමර්ශනයක ප්‍රගතිය ගැන අහන්න 2019 ජනවාරි වල'' යනුවෙන් ජූජිත් ජයසුන්දර මහතා පිළිතුරු දුන්නේය. 

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු පොලිස්පතිවරයාට ප්‍රශ්නයක් යොමුකරමින් විමසුවේ ''දැන් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යම් ත්‍රස්ත කටයුත්තකට සම්බන්ධයි කියලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රවී සෙනෙවිරත්න මහත්මයා ඔබට තොරතුරු දීලා තිබ්බනේ, එහෙම තියෙද්දිත් අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබට යොමු කළාම ඇයි ඔබ ඔයිට වඩා අවධානයක් යොමු නොකළේ ? යන්නෙනි.

ඊට පිළිතුරු දුන් ජයසුන්දර මහතා,''ස්වාමීනි, රවී සෙනෙවිරත්න මහත්මයා මට වනාතවිල්ලුව ගැන කියපු දවස මතක නැහැ. හැබැයි කිව්වා කියලා මතකයි. දැන් මේ සිද්ධිය වුණාට පස්සේ බාහිරෙන් ඉදලා ලැබි ඇති සාක්ෂි ගැලපීම් කරාට ප්‍රහාරය සිදුවෙන්න කළින් මේ වනාතවිල්ලුවත් එක මතකයක් විතරයි. ඔන්න විදෙස් බුද්ධි තොරතුරත් එක්ක රාජ්‍ය බුද්ධි සේවයෙන් එව්වා නම් මේ තොරතුර හා වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම අතර සම්බන්ධයක් තියෙනවා කියලා මට මීටත් වඩා අවබෝධයක් ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්න තිබ්බා. ආයේ ආයෙත් මම කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ විදෙස් බුද්ධි තොරතුර බෙදාහැරපු විදිහ තුළ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේ තොරතුරු ස්ථිර කරලා නැහැ. තවදුරටත් විමර්ශන කරමින් පවතිනවා කියලා තියෙන්නේ.'' යනුවෙන් පැවසූ අතර එවන් තත්ත්වයක තමන් ගත යුතු ආරක්ෂක පියවර ගෙන මෙවැනි ප්‍රහාරයක් සිදු නොවුණා නම් ''අයෙත් අහයි ස්ථිර කරලා නොතිබෙද්දි ඇයි පියවර ගත්තේ කියලා. ස්වාමිනි'' ලෙස ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.   

''ලද තොරතුර ගැන රාජ්‍ය බුද්ධි සේවයත් කිව්වා නම් අපේ විමර්ශනවලිනුත් මෙම තොරතුරේ සත්‍යතාවයක් ඇති බව තහවුරු වෙලා තියෙනවා කියලා, මම ගත යුතු ඉහළම පියවර ගන්නවා. මේ තොරතුර මත ස්වාමීනි මට නිලන්තට කතා කරන්න දෙයකුත් නැහැ. මම ඔහුට කතා කරන්න ඕනේ මේ තොරතුරු තේරෙන්නේ නැත්තම්නේ. නමුත් මට මේකේ තියෙන දේ හොදට තේරෙනවා. මේකේ තියෙන්නේ තවදුරටත් විමර්ශන කරමින් පවති කියලා. පුද්ගලයෙක් මාර්තු 29 සහරාන්ව අක්කරෛයිපත්තුවේදි දැකලා තියෙනවා කියලා, අප්‍රේල් 20 දැනුම්දෙනවා. එක කොහොමද බුද්ධි තොරතුරක් වෙන්නේ ස්වාමීනි'' යැයි හිටපු පොලිස්පතිවරයා විමසන ලදී.   

සිය ජනාධිපති නිතිඥවරයාගේ මළල්ගොඩ කමිටු වාර්තාව ගැන ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා තවදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය. 

''ස්වාමීනි මළල්ගොඩ කමිටු වාර්තාව ප්‍රසිද්ධ  කරනවා කියල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වට, එක ප්‍රසිද්ධ කළේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මම ඒක ඉල්ලා සිටියා නමුත් ලැබුණේ  නැහැ. පස්සේ නැවත අභියාචනයකුත් කළා. එත් කමිටු වාර්තාව ලැබුණේ නැහැ ස්වාමීනි. හිටපු ජනාධිපතිවරයා පසුගියදා මේ කොමිසම හමුවේ කිව්වා මාව අනිවාර්යය නිවාඩු යැවීමට එතුමා සම්බන්ධ නැහැ එතුමාට බලයක් නැහැ කියලා. නමුත් ස්වාමීනි පැහැදිලිව කියන්න කැමති ප්‍රහාරයෙන් පස්සේ වගකීම භාර අරගෙන ඉල්ලා අස්වෙන්න කියලා හිටපු ජනාධිපතිවරයා මට කිව්වට පස්සේ අප්‍රේල් 29 මට අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය ආවේ හිටපු ජනාධිපතිවරයාගේ අත්සන යටතේ'' යැයි හිටපු පොලිස්පතිවරයා කරුණු දැක්වීය.

එහිදි වැඩිදුරටත් කරුණු දැක්වු හිටපු පොලිස්පතිවරයා පැවසුවේ ''ස්වාමීනි, මේ ප්‍රහාරයෙන් පස්සේ මමයි හිටපු ආරක්ෂක ලේකම්තුමයි මාස 04 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවෙලා හිටියා. ස්වාමීනි මේ කාලය තුළ යෙදිලා තිබ්බා මගේ ජීවිතයට සම්බන්ධ හරිම මානුෂීය කටයුත්තක්. මගේ එකම පුතාගේ විවාහ මංගල්‍යය. කෙටි  උත්සවයක් සංවිධානය කරලා තිබ්බා මීගමුවේ නමුත් මම ඒකට යන්න ඉල්ලුවේ නැහැ අවසර නොලැබෙන බව දන්න නිසා. ඒත් ගංගාරාම පන්සලේ උදේ තිබ්බ ආගමික වතාවත් ටිකට සහභාගි වෙන්න අමාත්‍යාංශයෙන්, අධිකරණයෙන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මම ලිඛිතව අවසර ඉල්ලුවා නමුත් දුන්නේ නැහැ. පස්සේ මම අඩුම තරමින් විවාහයට අත්සන් කරලා එන්න තරම්වත් කෙටි වේලාවක් ඉල්ලුවා. ඒ අවසර දුන්නෙත් නැහැ. එතකොට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කිව්වා එතුමාගේ කාර්යාලයේ ඇවිල්ලා Registration එක කරන්න කියලා. ස්වාමීනි තාත්තා කෙනෙක් හැටියට දරුවෙක්ට කියන්න පුළුවන්ද ස්වාමීනි එයාගේ ජීවිතයේ වටිනාම දවස බන්ධනාගාරයේ ගන්න කියලා. ඒ නිසා මම ඒ අදහසත් අතහැරියා'' යනුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි කුඩුව තුළ ඉතා සංවේදි විය.

එසේම සිය සාක්ෂිදීම අවසානයේ පූජිත් ජයසුන්දර මහතා යම් විශේෂ කරුණු අනාවරණයක් සිදු කිරීමට කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා සිටියේය. 

''මේක විශාල පරිමාණයක් තුළ සිදුවුණ,තෝරාගත් පිරිසක් ඉලක්ක කරගෙන සිදුවූ කුමන්ත්‍රණයක් සහ වැඩපිළිවෙළක්. මම දන්න සහ පසුව සොයාගත්තු ඇතැම් කරුණු තියෙනවා මෙතෙක් නොකි‍යපු " යැයි හිටපු පොලිස්පතිවරයා සදහන් කිරීමත් සමඟ කොමිසම් සභාවෙන් මාධ්‍යවේදින් ඉවත් කෙරුණි.  

ඒ අනුව එම සාක්ෂිය රහසිගත සාක්ෂියක් ලෙස කොමිෂන්  සභාව විසින් සටහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ 


No comments:

Powered by Blogger.