Header Ads

Breaking News
recent

මධූෂ් සමයංගේ ඝාතනය ගැන හෙලිකල රහස් ඔහුගේ වචනයන්ම - මගේ ප්ලෑන් එක ඒ විදිහටම ක‍්‍රියාත්මක වුණා - එක දවසක මතකයකින් සමයංට වැඩේ දුන්නා

මගේ ප්ලෑන් එක ඒ විදිහටම ක‍්‍රියාත්මක වුණා
එක දවසක මතකයකින් සමයංට වැඩේ දුන්නා

පාතාල ලෝකයේ ගෝර්ඞ් ෆාදර් ලෙස කලක් නම් දරා සිටියේ නාවල නිහාල් ය. නාවල නිහාල් අතුරුදන් වීමෙන් පසු මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූයේ මාකඳුරේ මධුෂ්ය.

විසි වසරක් තිස්සේ පාතාලයේ මහ කෙරුමකු ලෙස දරුණු අපරාධවල නිරත වූ මාකඳුරේ මධුෂ් පසුගිය දවසක මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයකදී වෙඩි කා මිය ගියේය. මාකඳුරේ මධුෂ් ඝාතනයට ලක්වීමට දින දෙකකට උඩදී විසි වසරක් තිස්සේ තමන් සිදුකළ අපරාධ පිළිබඳව පාපොච්චාරණයක් කළේය. එක්තරා උසස් නිලධාරියකු හමුවේ පැය හයක් තිස්සේ සිදුකළ මේ පාපොච්චාරණයෙන් මධුෂ් සිදුකළ අපරාධ බොහොමයක සැඟවුණු රහසිගත තොරතුරු රැසක් අනාවරණය වුණේය. මධුෂ් සිදුකළ ඒ පාපොච්චාරණයෙන් කළුතර එතනමඩලදී

බන්ධනාගාර බස් රථයකට ප‍්‍රහාර එල්ල කර රණාලේ සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කළ සිද්ධිය පිළිබඳ සියලූ තොරතුරු හෙළි කළේය. මධුෂ් විසින් සිදුකළ ඒ පාපොච්චාරණයෙන් උපුටා ගත් කොටසකින් මෙවර ලිපිය සකස් කෙරිණි.

2017 වෙනකොට රණාලෙ සමයංගෙ සෙට් එක අපට ලොකු තර්ජනයක් වෙලා හිටියෙ. අංගොඩ ලොක්කා හැමදාම කන්කෙඳිරි ගානවා කොයි වෙලාවක හරි මිනිහට ගහල දායි කියලා. ඒ වෙනකොට අංගොඩ ලොක්කා දෙතුන් වතාවක් ට‍්‍රයි කරලා තිබුණා සමයංව ඉවරයක් කරන්න. ඒත් ඒ ප්ලෑන් එකක්වත් හරි ගිහින් තිබුණෙ නැහැ. සමයංව ඉවරයක් කරලා දාන වැඬේට සෙට් වෙන්න මටත් ලොකු අවශ්‍යතාවක් ඇති වුණේ මේ කාලෙදී තමයි. මාකඳුරේ මධුෂ් නමැති රටම හෙල්ලූ පාතාල මැරයා උසස් පොලිස් නිලධාරියා අභිමුව සිටිමින් ඒ අතීත සිදුවීම් එකින් එක ආවර්ජනය කරන්න පටන් ගත්තේය.

2017 වර්ෂය වනවිට රණාලේ සමයං මෙහෙය වූ පාතාල කල්ලිය සහ අංගොඩ ලොක්කා නායකත්වය දුන් කණ්ඩායම අතර පාතාල ගැටුම් ඉතාම දරණු අතට හැරෙමින් තිබුණේය. ඒ වනවිට රණාලේ සමයං කළුතර බන්ධනාගාරයේ රඳවා සිටිය ද ඔහු ඉතාම සූක්ෂම ලෙස සිය පාතාල කල්ලිය මෙහෙය වූවේය. කළුතර බන්ධනාගාරය සමයංට ආරක්ෂිත මධ්‍යස්ථානයක් විය. තමන්ට අවශ්‍ය සියලූ දෑ සපුරා ගනිමින් සමයං එහි රිසිසේ ගත කළේය. කළුතර බන්ධනාගාරයේ සිටි ඇතැම් දූෂිත නිලධාරීන් සමයංට අවශ්‍ය සියලූ ඕනෑ එපාකම් සපුරාලනු ලැබූහ. ඒ වෙනුවෙන් දූෂිත නිලධාරීන්ට අතමිට පිරෙන්නට මිල මුදල් සහ තෑගි බෝග ලැබී තිබිණි.

මොහොතක නිහැඬියාවකින් පසු මධුෂ් නැවතත් සිය හඬ අවදි කළේය. නුගේගොඩ උසාවිය ඇතුළට මිනිහෙක් යවලා සමයංට වෙඩි තියන්න අංගොඩ ලොක්කා සෙට් කරලා තිබුණා. ඒත් ඒ වැඬේ ගැස්සිලා ගියා. සමයංට වෙඩි වැදුනත් මිනිහ මලේ නැහැ. කළුතර පි‍්‍රසන් එකට ගේන්න ඉස්සර සමයං හිටියෙ වැලිකඩ. මිනිහට ඕන කරන හැම දෙයක්ම ඇතුළට අරන් ගියෙ මිනිහගෙ ගෑනි. ගෑනි විසිට් දාන එක නතර කළොත් සමයංට ඒක හොඳටම දැනෙනවා. මං අංගොඩ ලොක්කාට කිව්වා සමයංගෙ ගෑනිව ඉවරයක් කරලා දාන්න කියලා. ඒකෙන් සමයංට හොඳට රිද්දන්න පුළුවන් කියලා මට හිතුනා. අංගොඩ ලොක්කා ඒ වැඬේ භාර දෙන්න මිනිහා කොල්ලො දෙන්නෙක් ඇරියා වැලිකඩ පි‍්‍රසන් එක ළඟට. ඒත් අපේ ප්ලෑන් සේරම වතුරෙ ගියා. මේ කොල්ලො දෙන්නා සමයංගෙ ගෑනි කියලා හිතාගෙන වෙඩි තිබ්බෙ වෙන ගෑනු කෙනෙකුට.

ඒ ගෑනු කෙනා බඩ දරු අම්මා කෙනෙක්. වෙලාවට ඒ මනුස්සයා තුවාල වෙලා බේරුනා.

අපි ගෑනිව මරන්න ට‍්‍රයි කරනවා කියල සමයංට ඔත්තුවක් ගිහින් තිබුණා. ගේමට ගේම සෙට් කරන්න සමයං හරි දක්ෂයි. ඌට ඕන වෙලා තිබුණා අපටත් ඒ විදිහට වැඩක් දෙන්න මං හීනෙකින්වත් නොහිතන වැඩක් ඌ සෙට් කරල තිබුණා. මගේ ගෑනියි ළමයයි ඒ වෙන කොටත් සිටියේ මාකඳුරේ උන්ගේ මහගෙදර. මට රිද්දන්න මාකඳුරේ ඉන්න මගේ ගෑනිව මරන්න සමයං ප්ලෑන් කළා. ඒ විතරක් නෙවෙයි සර් මිනිහා මාකඳුරට සෙට් එකක් ඇරියා ගෑනිට වෙඩි තියන්න. ඒ මනුස්සයා බොහොම අහිංසක කෙනෙක්. පාඩුවේ ජීවත් වෙන්නෙ අනික මගේ ආබාධිත දරුවත් බලා තියාගෙන ඉන්නෙ ඒ මනුස්සයා.

මේ සිද්ධියෙන් පස්සෙ මට සමයං ගැන ඇති වුණේ ලොකු වෛරයක්. මං එදා හිතා ගත්තා වැඩි දවසක් යන්න ඉස්සර මූව ඉවරයක් කරලා දාන්න ඕනෙ කියලා. එහෙම නොකළොත් අපට ලොකු ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන බව මට තේරුම් ගිහින් තිබුණෙ. මගේ දකුණු අත වගේ හිටිය හර්ෂයවත් මැරුවෙ සමයං. ඒ වෛරයත් කාලයක් තිස්සේ මගේ හිතේ පැසව පැසව තිබුණා. හර්ෂ යසස් මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියේ පැරණිම සාමාජිකයෙකි. මධුෂ්ගේ අවශ්‍යතාව මත දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ තිරය පිටුපස සිටි ප‍්‍රධානියා වුණේ හර්ෂය. ඩැනී හිත්තැටියගේ ඝාතනය කරද්දී මධුෂ් සිටියේ මීගමුව බන්ධනාගාරයේය.

මධුෂ්ගේ උපදෙස් මත හිත්තැටියගේ ඝාතනය සඳහා අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කරදී තිබුණේ හර්ෂ යසස් විසින්ය. රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේ නිවසක සිටියදී හර්ෂ ඝාතනය කළේය. හර්ෂ සිය අනියම් බිරිඳගේ නිවසේ නිදා සිටියදී එහි කඩා වදින සමයංගේ ගෝලයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.

හර්ෂ ඝාතනය මධුෂ්ට එල්ල වූ මරු පහරක් විය. සමයං කෙරෙහි වෛරය දෙගුණ තෙගුණ කර වීමට මේ සිදුවීම ද එක් හේතුවක් බවට පත්ව තිබුණේය.

සමයංට ගහන්න මං ප්ලෑන් කීපයක්ම හැදුවා. මිනිහව උසාවි ගේන දාට ලොකු ගාඞ් එකක් දෙන බව අපි හොයා ගත්තා. උසාවිය ඇතුළෙදී මිනිහට යමක් කරන්න අමාරුයි. කළුතර ඉඳලා බස් එකේ අරගෙන එන අතරෙදි මිනිහට ගහන්න ඕනෙ කියලා මම ප්ලෑන් එකක් හැදුවා.

අනික රටම හෙල්ලෙන වැඩක් කළාම අපේ ටීම් එකට ලොකු ඩිමාන්ඞ් එකක් එනවා. ඒක මට වැදගත්. ඒ නිසා තමයි මුළු රටම ගිනි ගන්න විදිහෙ ඇටැක් එකක් දීලා සමයංව අයින් කරන ප්ලෑන් එක මං හැදුවෙ. උසස් පොලිස් නිලධාරියා මධුෂ්ගේ කතාව ඉතාම සාවදානව අසා සිටියි. මධුෂ් වමාරන මේ අතීත සිදුවීම් මුසාවක් නොවන බව උසස් පොලිස් නිලධාරියාට පැහැදිලිය. ඒ වනවිට මතුව තිබූ ගැටලූ කීපයක් ගැන උසස් පොලිස් නිලධාරියා මධුෂ්ගෙන් කරුණු විමසුවේය.

එතකොට සමයංව උසාවියට ගේන අතරේ පි‍්‍රසන් බස් එකට ගහන්න ප්ලෑන් එක හැදුවෙ කවුද?

උසස් නිලධාරියාගේ මුහුණ දෙස එක එල්ලයේම බලා සිටි මධුෂ් ඊට පිළිතුරු දුන්නේය.

ඒ ප්ලෑන් එක මගේ සර්....... මීට අවුරුදු දහයකට පහළොවකට උඩදී මං කළුතර පි‍්‍රසන් එකේ හිටියා ටික කාලෙකට. මාව උසාවි අරන් ගියේ පි‍්‍රසන් බස් එකෙන්.

කළුතර පි‍්‍රසන් එක ළඟ ඉඳලා ප‍්‍රධාන පාරට එනකල් වටේ තියෙන්නෙ ලොකු පොල්වතු මං කළුතර පි‍්‍රසන් එකේ ඉන්න කාලේ බස් එකෙන් මාව අරන් යද්දි මං ඔය අවට දේවල් ගැන හොඳ අවධානයකින් සිටියේ. කළුතර බන්ධනාගාරෙන් පිට වෙලා මීටර් 250 ක් විතර යද්දි පාර දෙපැත්තෙ තියෙන්නෙ ලොකු පොල්වතු ඒ පාර බොහොම පටුයි. වාහන දෙකකට එක පාර මාරු වෙන්න බැහැ. පාර දෙපැත්තේ කඳු ගැට දෙකක් තිබුණා. ඔය ලොකේෂන් එක මගේ හිතේ ඇඳිලා තිබුණා. ඒක මෛාන හේතු-වකට වුණා ද කියලා දන්නේ නැහැ. සමයංට ගහන්න ප්ලෑන් එක හදද්දි ඔය ලොකේෂන් එක මගේ ඔළුවට ආවා. සමයංට ගහන්න සුදුසුම තැන මෙතන තමයි කියලා මං ප්ලෑන් කළා.

ඉස්සර මං කළුතර පි‍්‍රසන් එකේ ඉඳලා උසාවි අරගෙන යද්දි මේ පාරේ තැඹිලි පටවා ගත්ත පොඩි ලොරි නතර කරලා තිබුණා. අහල පහල පොල්වතුවලින් තැඹිලි එකතු කරන්න. මේ ලොරි නිතරම එනවා. මේකත් මගේ හිතේ ඇඳිලා තිබුණා. තැඹිලි පටවගන්න වාහනයක් මේ පාරට දාලා බන්ධනාගාර බස් එක බ්ලොක් කරන්න ප්ලෑන් එක ගැහුවෙ රණාලෙ සමයං ඝාතනය කිරීම සඳහා මධුෂ් මොන තරම් සූක්ෂම සැලසුමක් සකස් කර තිබුණේ දැයි උසස් පොලිස් නිලධාරියාට සිතා ගැනීමටවත් නොහැකි විය. මේ පාතාල මැරයා මොන තරම් තියුණු බුද්ධියක් ඒ සඳහා පාවිච්චි කර තිබුණේ දැයි ඔහුට සිතුණේය.

සමයංට ගහන ප්ලෑන් එක හදලා මං ඩුබායි ඉඳලා අංගොඩ ලොක්කට කතා කළා. පි‍්‍රසන් බස් එකට ගහන ප්ලෑන් එක මුල ඉඳලම මං මිනිහට පැහැදිලි කරලා දුන්නා. උඹ අදම පලයං කළුතර පි‍්‍රසන් එක ළඟට. පි‍්‍රසන් එක ළඟ ඉඳලා මහ පාරට එන පටු පාර හොඳට බලපං. ඒ පාරේ දෙපැත්තෙ ලඳු කැලෑවත් එක්ක පොඩි කඳුගැට දෙකක් තියනවා. අපි පි‍්‍රසන් බස් එකට ඇටෑක් කරන්න ඕනෙ මේ කඳුගැට දෙක අතරෙ හැංගිලා ඉඳලා. තැඹිලි ලොරියක් දාලා පාර බ්ලොක් කරන්න ඕනෙ. මේ ප්ලෑන් එක හරියටම කළොත් සමයං පරලොව යවන එක කාටවත් නතර කරන්න බැහැ. මාකඳුරේ මධුෂ් ලබාදුන් උපදෙස් මත අංගොඩ ලොක්කා සිය ගෝලබාලයන් ද සමග කළුතර බන්ධනාගාරය අවට නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේය.

මාකඳුරේ මධුෂ් ඩුබායි සිට ලබාදුන් කළුතර බන්ධනාගාරය අවට භූමි සැලැස්ම ඒ අයුරින්ම දැක ගන්නට අංගොඩ ලොක්කාට හැකි විය.

බන්ධනාගාරයේ සිට ප‍්‍රධාන පාරට එන අතර පිහිටි පටු මාර්ගය පරීක්ෂා කළ අංගොඩ ලොක්කා ප‍්‍රහාරය එල්ල කිරීමට සුදුසුම ස්ථානය නිරීක්ෂණය කර ගත්තේය. බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කර සමයං ඝාතනය කිරීමේ සැලසුම සඳහා අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය විය. ප‍්‍රහාරය සඳහා ආයුධ විශාල ප‍්‍රමාණයක් එකවර සොයා ගැනීමේ ගැටලූව ඒ වනවිට මතුව තිබුණේය. අංගොඩ ලොක්කාට මේ අවි ආයුධ සපයා ගැනීම ගැටලූවක් වුවද මධුෂ්ට එය ඉතාම සුළු ගැටලූවක් විය. උඹ බය වෙන්න එපා මං ආයුධ ටික හොයලා දෙන්නම්. සමයං උසාවි ගෙනි යන දවසට බන්ධනාගාරේ ගාඞ් එකට අමතරව පොලිසියේ ගාඞ් එකකුත් එනවා. ඒ නිසා මෙතන ලොකු ටීම් එකක් ඉන්නවා. අපි ඕනෙම දේකට රෙඩි වෙලා ඉන්න ඕනෙ. එහෙම නොවුණොත් අපට බඩ කටපුරා කන්න වෙනවා. අඩුම ගානෙ ටී56 වෙපන් දහයක්වත් තියෙන්න ඕනෙ. මං ඒ ටික හොයලා දෙන්නම්. මධුෂ් මෙහෙයුමේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා ලෙස අංගොඩ ලොක්කාට කීවේය. ප‍්‍රහාරය සඳහා ටී56 ගිනි අවි ලබා ගත් ආකාරය ගැන උසස් පොලිස් නිලධාරියාට ගැටලූවක් විය.

කොහෙන්ද ඔය වෙපන් ටික ආවෙ. උසස් නිලධාරියා කුතුහලයෙන් යුතුව විමසුවේය.

මගේ යාළුවෝ ඉන්න වානෙ සර් ඔය හැම ආරක්ෂක අංශයකම. ........ අහවල් විශේෂ ආරක්ෂක අංශයෙන් මං ටී56 වෙපන් හයක් ගෙන්න ගත්තා. වැඬේ කරලා ඉවර වෙලා ආපහු වෙපන් ටික භාරදෙන පොරොන්දුව මත.

මධුෂ් කියූ දෙයින් උසස් පොලිස් නිලධාරියා අන්දමන්ද වුණේය. මධුෂ් මේ කියන්නේ සත්‍යක්දැයි සිතා ගත නොහැක. එහෙත් පසුගිය කාලයේ පොලිස් විශේෂ ඒකකවල නිලධාරීන් කළකී දෑ ගැන සැලකිලිමත් වීමේදී මධුෂ් හෙළි කරන මේ තොරතුරු සත්‍යයෙන් තොර ඒවා නොවන බව පැහැදිලිය.

කළුතරදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කළ ටී56ගිනි අවි කිසිවක් මේ වනතුරුත් හමු නොවීම උසස් නිලධාරියාගේ සැකය තව තවත් වර්ධනය කිරීමට හේතු වුණේය. පි‍්‍රසන් බස් එකට ඇටෑක් කරන ටීම් එක යන වාහන ටික අංගොඩ ලොක්කා ලෑස්ති කර ගත්තා මේ වැඬේට ඕන කරන මිනිස්සු ටිකත් මං සෙට් කළා. අංගොඩ ලොක්කයි මිනිහගෙ ළඟම ගෝලයා ලඩියයි මේ ඇටැක් එකේ මේන් රෝල් දෙක කරන්න ලෑස්ති වෙලා හිටියෙ.

බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බුද්ධි තොරතුරු ලබා ගැනීම ඉතාම වැදගත් විය. මාකඳුරේ මධුෂ් සතුව ඉතාම දක්‍ෂ බුද්ධි ජාලයක් ක‍්‍රියාත්මක වෙමින් තිබුණේය. සිය බුද්ධි සාමාජිකයන් යොදවා කළුතර බන්ධනාගාරය තුළ සිදුවන බොහෝ දේ දැන ගන්නට මධුෂ්ට හැකි විය.

පි‍්‍රසන් එකේ වැඩ කරන කීපදෙනෙක්ම මගේ හොඳ යාළුවෝ සර්. ඇතුලේ වෙන හැම දෙයක්ම මං ඒ අයගෙන් දැන ගන්නවා. සමයං උසාවි අරන් යන බස් එකට පොලිස් ගාර්ඞ් එක ලැබෙන්නේ නැහැ කියලා මං කලින්ම දැන ගත්තා. ඒක අපේ වැඬේට ලොකු පහසුවක් වුණා. ජේලර් මහත්තුරු ළඟ තියෙන්නෙ පරණ වෙපන්. ඒ අයව මෙල්ල කරන්න අපට ලොකු මහන්සියක් වෙන්න ඕනෙ නැහැ. අනික මේ වගේ ඇටෑක් එකකට ප‍්‍රිසන් එකේ අය මුහුණදීල නැහැනෙ. ඒ නිසා අපිට පි‍්‍රසන් එකේ ගාර්ඞ් එක ගැන ලොකු බයක් තිබුණෙ නැහැ. බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කර සමයං ඝාතනය කිරීම සඳහා ක‍්‍රියාත්මක කළ මෙහෙයුමේ සියලූ තොරතුරු පෙළ ගස්වන්නට වුණේය.

2017 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදා සමයං ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් පස්දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. ඒ නඩු විභාගය යෙදී තිබුණේ ද අංගොඩ ලොක්කාගේ ගෝලයන් සිව්දෙනකුට වෙඩි තබා බරපතළ තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය. සමයං ඇතුළු පාතාල සාමාජිකයන්ගේ ප‍්‍රහාරයට ලක්ව තිබුණේ අංගොඩ ලොක්කාගේ සමීප සාමාජිකයන් දෙදෙනෙකු වූ ලඩියා, බාල්දි ප‍්‍රියන්ත ඇතුළු සිව්දෙනෙකි. අපි 27 වැනිදා මේ වැඬේ ඉවරයක් කරලා දාමු. මොකද ලඩියටත් සාධාරණයක් වෙනවා 27 වැනිදා සමයං පරලොව යැව්වම....

මධුෂ් ප‍්‍රහාරය සඳහා අවශ්‍ය උපදෙස් අංගොඩ ලොක්කාට ලබා දෙමින් කීවේය. මධුෂ් අයියා මේ ඇටෑක් එකෙන් පස්සේ අපි කොයි වෙලාවක හරි පොලිසියට කොටු වෙනවා. පොලිසියට අහුවෙනවට වැඩිය හොඳයි මැරෙන එක. ඒ නිසා ඇටෑක් එකෙන් පස්සෙ අපිව ඩුබායිවලට ගෙන්න ගන්න. අංගොඩ ලොක්කා මධුෂ්ට කීවේය. ‘‘ප‍්‍රිසන් බස් එකට ගැහුවට පස්සෙ පොලිසියට කොටුවෙලා බඩකට පුරා කන්න වෙයි කියලා අංගොඩ ලොක්කා බයෙන් හිටියෙ. මිනිහ කන්කෙඳිරි ගාන්න ගත්තා එයාව ඩුබායිවලට ගන්න කියලා.’’

‘‘ලොක්කා ඩුබායිවලට ගෙන්න ගත්තොත් පස්සේ කාලෙකදී මට ලෙඩක් වෙයි කියලා හිතුනා. ඒ නිසා මං මිනිහව ඉන්දියාවට යවන්න ප්ලෑන් කළා. මා එක්ක කුඩු බිස්නස් කරපු කොල්ලෙක් හිටියා ඉන්දියාවෙ. මිනිහ සුරේෂ්. අංගොඩ ලොක්කයි ලඩියයි බලාගන්න වැඬේ මං සුරේෂ්ට භාර දුන්නා.’’ ඒ වගේම මේ දෙන්නව බෝට්ටුවකින් ඉන්දියාවට යවන වැඬේ භාරදීලා තිබුණෙ මෝදර පූකුඩිකන්නට.

‘‘මං අංගොඩ ලොක්කට කිව්වා උඹ කිසිදේකට බයවෙන්න එපා. මේ ගේම් එක ඉවරවෙච්ච දවසෙම මං උඹවයි ලඩියවයි ඉන්දියාවට ගෙන්න ගන්නවා කියලා.

2017 පෙබරවාරි 26 වැනිදා වන විට ප‍්‍රහාරයට අවශ්‍ය සියල්ල සූදානම් කර තිබුණේය. ප‍්‍රහාරය සඳහා යෑමට කැබ් රථයක් සහ වෑන් රථයක් සූදානම් කර තිබුණේ අංගොඩ ලොක්කා විසින් ය. එක්තරා ආරක්‍ෂක අංශයක උසස් නිලධාරියකුගෙන් කුලී පදනම මත ලබා ගත් බව කියන ටී 56 ගිනි අවි හයක් ඒ වන විට අංගොඩ ලොක්කා අතට පත්ව තිබුණේය. ප‍්‍රහාරය සඳහා එක් වූ පිරිස අතරින් තිදෙනෙකුට පොලිස් නිල ඇඳුම් ලැබී තිබිණි. අංගොඩ ලොක්කාට ද පොලිස් පරීක්‍ෂකවරයකුගේ නිල ඇඳුමක් ලැබිණි. මේ ප‍්‍රහාරයේ මෙහෙයුම් මැදිරිය තිබුණේ ඩුබායි රාජ්‍යයේ ය. මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා වූයේ මාකඳුරේ මධුෂ්ය. පෙබරවාරි 26 වැනිදා ? මට නින්ද ගියේ නැහැ. අංගොඩ ලොක්කයි ඇටෑක් එකට යන්න සුදානම් කරපු ටීම් එකයි අතුරුගිරිය පැත්තෙ රබර් වත්තකදී සෙට් කළා. 26 වැනිදා රෑ තමයි මේ අය එතනට ගෙන්නුවේ.’’

‘‘ඇටෑක් එකට යන්න සෙට් වෙලා හිටිය හැම කොල්ල එක්කම මං ෆෝන් එකෙන් කතා කළා. උන්ව දිරිමත් කළා. සමහර කොල්ලො ටිකක් බයවෙලා හිටියෙ. මං උන්ට කතා කරලා මොරාල් හැදුවා.’’

අංගොඩ ලොක්කයි ලඩියයි කිසිම බයක් නැතිව හිටියෙ. මට ඒක ලොකු හයියක් වුණා. මොකද මේ වැඬේ හරියට කෙරුණෙ නැත්නම් අපිට ආයෙත් චාන්ස් එකක් එන්නේ නැහැ. එහෙම වුණොත් අපට හැමදාම සමයංට බය වෙලා ඉන්න වෙනවා. මං ඒ ගැන අංගොඩ ලොක්කටයි අනෙක් සෙට් එකටයි කිව්වා.

රණාලේ සමයං ඝාතනය කිරීමට පෙර දින රාත‍්‍රියේ සිදු වූ සියල්ල මාකඳුරේ මධුෂ් පියවරෙන් පියවර කීවේය. 27 වැනිදා උදෑසන වෙද්දී ප‍්‍රහාරය සඳහා අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර තිබුණේය. එදින අලූයම මධුෂ් නිදිසුව වින්දේ නැත. පැය කීපයක් විවේකීව සිටි මධුෂ් ප‍්‍රහාරක සැලසුම සඳහා අවසන් උපදේශයන් ලබා දෙමින් සිටියේය. අංගොඩ ලොක්කා ලඩියා ඇතුළු පාතාල මැරයන් 27 වැනිදා උදෑසන 7.30 ට පමණ වන විට ප‍්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ප‍්‍රදේශයේ ස්ථාන ගතවී සිටියහ.

ඒ වන විට මාකඳුරේ මධුෂ් තම බුද්ධි ජාලය ඔස්සේ කළුතර බන්ධනාගාරය තුළ සිදුවන සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටියේය.

‘‘මට ප‍්‍රිසන් එක ඇතුළෙ ඉන්න මගේ හිතවතකුගෙන් හැම තොරතුරක්ම ආවා. සමයංව අරගෙන යන බස් එකට අමතරව තවත් බස් එකක් යන්න සූදානම් කරලා තිබුණා. ආරක්‍ෂාවට ප‍්‍රිසන් එකේ ගාර්ඞ්ලා 11 ක් හිටියා. මේ අය ළඟ වෙපන් 7 ක් තිබුණා. බස් දෙක පිටත් වෙන්න සූදානම් කරලා තිබුණෙ උදේ 8.00 ට. ඉස්සරහින් ගිය බස් එකේ ප‍්‍රිසන් එකේ 5 දෙනෙක් ඉන්නවා. පස්සෙන් යන බස් එකේ හයදෙනෙක් ඉන්නවා කියලා මට තොරතුරු ලැබුණා. මං ඒ හැම තොරතුරක්ම ඒ වෙලාවෙම අංගොඩ ලොක්කාට කිව්වා.

ඒ වෙනකොට ප‍්‍රිසන් එකේ ඉඳලා ප‍්‍රධාන පාරට එන අතුරු පාරේ අපේ සෙට් එක ඇටෑක් එකට සූදානම් වෙලා හිටියෙ. ඩබල් කැබ් එක පාර හරහා නතර කරලා පාර බ්ලොක් කරලා තිබුණා. පාර දෙපැත්තේ ලඳු කැලෑවත් එක්ක තියෙන කඳු ගැට දෙක අතර කොල්ලො පස්දෙනෙක් දැම්මා. උන්ව සූදානම් කරලා තිබ්බෙ බස් එකට දෙපැත්තෙන් වෙඩි තියන්න.

පොලිස් යුනිෆෝම් ඇන්ද තුන්දෙනයි තවත් කොල්ලො දෙන්නෙකුයි පාරෙ තිබ්බා. පි‍්‍රසන් බස් එකට ඉස්සරහින් ඇටෑක් කරන්න මේ අයට උපදෙස් දුන්නා.

මේ ඇටෑක් එක සාර්ථකව වුණාද බලන්න මට ලොකු ආසාවක් තිබුණා. මා එතන හිටිය මගේ කොල්ලෙකුට කිව්වා වැඬේ ඉවර වුණාට පස්සෙ මට වට්ස්ඇප් වීඩියෝ කෝල් එකක් අරන් වැඬේ වෙච්ච හැටි පෙන්වන්න කියලා. බස් එක උදේ 8.00ට පිටත් වෙන්න තිබුණත් විනාඩි 10 ක් විතර ප‍්‍රමාද වුණා. ඒ ප‍්‍රමාදය ගැනත් මට ඇතුළෙ කොල්ලෙක් කථා කරලා කිව්වා.

ප‍්‍රිසන් බස් දෙක බන්ධනාගාරයෙන් පිටත් වෙලා පටු පාර දිගේ එද්දී අංගොඩ ලොක්කයි කොල්ලො ටිකයි පාර බ්ලොක් කරගෙන හිටියෙ. ප‍්‍රිසන් එකේ මිනිස්සු හිතන්න ඇති පොලිසියෙන් ඇවිත් පාර බ්ලොක් කරන් ඉන්නවා කියලා. බස් දෙක ළඟට එනවත් එක්කම අපේ කොල්ලො ටික ඉස්සරහින් වෙඩි තියාගෙන ආවා. තත්පර ගාණක් යද්දී පාර දෙපැත්තේ කඳුගැට අතරෙ හැංගිලා ඇටෑක් කරගෙන හිටිය කොල්ලො ටික වෙඩි තියන්න පටන් ගත්තා. ප‍්‍රිසන් එකේ මහත්තුරුන්ට කර කියා ගන්න දෙයක් නැති වුණා. විනාඩි පහක් හයක් යද්දී අපේ වැඬේ ඉවරයක් කළා. බස් එක ඇතුළෙ වෙඩි වැදිල වැටිලා හිටිය සමයංව බස් එකේ දොර ගාවට එනකල් ඇදගෙන ආවා. අංගොඩ ලොක්කා බිම දාල ඌට තව වෙඩි කීපයක් තිබ්බා. මගේ ගෝලයා වීඩියෝ කෝල් එකකින් මේ හැම දෙයක්ම මට පෙන්නුවා.

මගේ ප්ලෑන් එක ඒ විදිහටම ක‍්‍රියාත්මක වුණා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ වෙලාවෙ මට පුදුම සතුටක් දැනුණා. හිතට ලොකු සහනයකුත් දැනුනා.

බන්ධනාගාරෙ මහත්තුරු මරන්න අපට කිසිම ඕනෙකමක් තිබුණෙ නැහැ. ඒත් අපට ඒ අය බේර බේර මේ වැඬේ කරන්න බෑනෙ. වෙඩි වැදිච්ච නිලධාරී මහත්තුරු දෙන්නෙක් මැරුණ කියල මට පස්සෙ දැනගන්න ලැබුණා. කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයකට ප‍්‍රහාර එල්ල කර සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම මෙරට පාතාලයේ සිදු වූ දරුණුම අපරාධවලින් එකක් ලෙස ඉතිහාසයට එක් වුණේය. සමයං ඝාතනය කර සිය ඉලක්කය සපුරා ගත් අංගොඩ ලොක්කා ඇතුළු පාතාල මැරයන් පිරිස නිරුපද්‍රිතව පලා ගියහ. ප‍්‍රහාරයෙන් පසුව සිදුවූ සියල්ල ද මධුෂ් උසස් පොලිස් නිලධාරියා හමුවේ හෙළිකරන්නට වුණේය. සර්.... අපි ඇටෑක් එකට පාවිච්චි කරන්න ඉල්ල ගත්ත ටී. 56 වෙපන් හය ආපහු භාර දුන්නා. එතනින් අපේ ගනුදෙනුව අවසන් වුණා. 27 වැනිදා ?ම අංගොඩ ලොක්කවයි ලඩියවයි ඉන්දියාවට යවන්න ලෑස්ති කරලා තිබුණෙ. මගේ උපදෙස් අනුව පූකුඩුකන්නා හලාවත මුහුදු වෙරළෙ බෝට්ටුවක් ලෑස්ති කරලා තිබුණා. පොලිසිය කොයිවෙලාවක හරි අංගොඩ ලොක්කව කොටුකර ගනියි කියලා ලොකු බයක් තිබුණ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මිනිහව රටින් පන්න ගන්න මං කටයුතු කළා. එදා රාත‍්‍රියෙම අංගොඩ ලොක්කයි ලඩියයි ඉන්දියාවට පැන්නා. උන් දෙන්නා ඉන්දියාවට පැන්නට පස්සේ තමයි මට හොඳට නින්ද ගියේ. මාකඳුරේ මධුෂ් සමයං ඝාතනය කිරීම සඳහා ක‍්‍රියාත්මක කළ මෙහෙයුමේ අවසන් අදියර පිළිබඳ විස්තර කළේ ඒ ආකාරයටය. උසස් පොලිස් නිලධාරියා හමුවේ පැය හයක් තිස්සේ කළ පාපොච්චාරණය මාකඳුරේ මධුෂ් අවසන් කළේය. කොළඹ අපරාධ කොට්ඨාශයෙන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඉදිරි දිනයකදී නිදහස් ව ගොස් නිදහස් සුව භුක්ති විඳීමට මධුෂ් සිහින මවමින් සිටියේය.

තවත් දින දෙකකින් තමාගේ ජීවිතයේ අවසානය සනිටුහන් වනු ඇතැයි මධුෂ්ට එදින මොහොතකටවත් සිතුනේ නැත. එහෙත් මේ පාපොච්චාරණය සිදුකර හරියටම දින දෙකක් ගත වූ තැන මාකඳුරේ මධුෂ් නමැති පාතාල අපරාධකාරයා නාඳුනන තුවක්කුකරුවකු අතින් ඝාතනය වුණේය.  
හේමන්ත රන්දුණු -දිවයින

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

No comments:

Powered by Blogger.