Header Ads

Breaking News
recent

ඇමෙරිකානු ට‍්‍රම්ප්ගේ පරාජය සහ ලංකාවේ බයියන්ගේ ශෝකය - Donald Trump

ටොයියා ප‍්‍රතිගාමී ය. බයියා ප‍්‍රගතිශීලී ය.

2015 ජනවාරි 08 වැනිදායින් පසුව මෙරට ඡුන්දදායකයන් පැහැදිලිව කොටස් දෙකකට බෙදිණි. එනම් පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයට දායකවූ පිරිස ටොයියන් ලෙසත් මහින්ද රාජපක්ෂට ඡුන්දය දුන් පිරිස බයියන් ලෙසත් හැඳින්විණි. මෙය වඩාත් කතාවට ලක්වූයෙත් භාවිත වන්නෙත් මුහුණු පොතේය. බොහෝදෙනා පවසන පරිදි ටොයියා ප‍්‍රතිගාමී ය. බයියා ප‍්‍රගතිශීලී ය. ටොයියා යූ. එන්. පී. හෝ එම පාර්ශ්වයේ උග‍්‍ර පාර්ශ්වකරුවෙකි. වර්තමානයේ එජාපය මියගොස් ඇති නිසා ටොයියෝ දුරකථනය කණ්ඩායම සමග හෝ එයට එකඟ නොවුවද වෙනත් පැත්තක සිට හෝ රාජපක්ෂ විරෝධය පවත්වාගෙන යති. බයියා පොහොට්ටුවේය. බයියන්, ටොයියන් ගැන කියනා මේ කතාව ගැන සමහරු උරණ විය හැකිය. සමහරු මේ මතයට එකඟ විය නොහැකිය.

එහෙත් අප මේ කතා මතක් කරනු ලැබුවේ ඇමෙරිකානු ජනපතිවරණ සම්බන්ධවද බයි - ටොයි බෙදීමක් දක්නට ලැබෙන නිසාය. බහුතරයක් ජනපති ඩොනල්ඞ් ට‍්‍රප්ම් හඳුන්වනු ලැබුවේ ට‍්‍රම්ප් අප්පච්චි ලෙසිනි. බයියන්ගේ වීරයා වන්නේ ට‍්‍රම්ප් වේ. ඔහුට ජනපතිවරණ සටන අවාසිදායක විය. ට‍්‍රම්ප් ජනපතිවරණයෙන් පරාජය වූ අතර 46 වැනි ඇමෙරිකානු ජනපති ලෙස ජෝ බයිඩන් තේරීපත්ව ඇත. නමුත් ලංකාවේ පොහොට්ටුවට ඇති ඡන්ද පදනම මෙන්ම ට‍්‍රම්ප්ගේ ඡන්ද පදනම ඉතා ශක්තිමත් වන්නේ නගරයට පිට ප‍්‍රදේශ වලය.

පොහොට්ටුවට කොල්ලූපිටියේ බලවේග අකැමැති ආකාරයට ට‍්‍රම්ප්ට නිව්යෝක් බලවේග අකැමැතිය. නිව්යෝක් ජයගනු ලැබුවේද ජෝ බයිඩන් විසිනි. ඔහු ටොයියන්ගේ ජනපති අපේක්ෂකයාය. ඇමෙරිකාවේ 46 වැනි ජනපති එම ධුරයට පත්වූ වයස්ගතම පුද්ගලයා වන්නේය. බයිඩන් ජනපති පත්වූ උප ජනපතිවන්නේ කමලා හැරිස් වේ. මදුරාසියේ උපන් දෙමළ කාන්තාවකගේ දියණියක් වන ඇය ලංකාව දෙස බලනුයේ කවර කෝණයකින්ද? දෙමළ ඩයස්පෝරාවේ මතයට අනුවද? නැවත ලංකාව මානව හිමිකම් උගුලේ සිර කරන්නට කමලාට උපදෙස් ලබාදෙනු ඇත්තේ ප‍්‍රකට කතකි. ඇය අන් කවරෙක්වත් හිලරි ක්ලින්ටන් වේ. ලංකාවේ වාසනාවට හිලරි 2016 දී ට‍්‍රම්ප් අතින් පරාජයට පත්විය. ට‍්‍රම්ප් මැතිඳු මානව හිමිකම් උගුලේ ලෝකයේ සෙසු රටවල් සිර කරන්නට ගියේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙනවා කියමින් රටවල් ආක‍්‍රමණය කරන්නට ගියේ නැත. වෙනත් රටවලට අත දැමීම මෙන්ම නිකරුනේ යුද වැදීම නිසා ඇමෙරිකාවේ ආර්ථිකයත් අගනා මිනිස් ජීවිතත් විනාශ වන බව මේ ව්‍යාපාරික ජනපතිවරයා දැන සිටියේය.

එදා 2016 දී ට‍්‍රම්ප් ජනපතිවරණ සටනට ඉදිරිපත්වූ විට හිලරි කියා සිටියේ ඇමරිකාවේ ජනාධිපතිවරයා වීමට ට‍්‍රම්ප් සුදුසු නැති අතරම ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරණය ‘ඓතිහාසික අත්වැරැද්දක්‘ බවයි. ක්ලින්ටන්ලා ඇමරිකන් දේශපාලනයේ පළපුරුදු චරිත නිසා ඇමරිකන් මාධ්‍ය සියල්ල පාහේ කියන්නට වූයේ හිලරි දිනන බවය. ට‍්‍රම්ප් දිනන බව කියන ලද්දේ එකම එක වෙබ් අඩවියක් පමණි. එවිට හිලරිගේ කට්ටිය කියන්නට පටන් ගත්තේ එම වෙබ් අඩවිය ට‍්‍රම්ප්ගෙන් ”ජරාව” කන ලද බවය. නමුත් ඒ සියල්ල වෙනස් විය. මේ සිහිකරනු ලැබුවේ අතීතයයි. කෙසේ නමුත් ඉදිරියේ ඇතිවන වෙනසට මුහුණ දිය යුතුය. පසුගිය නොවැම්බරයේදී හැටනම ලක්ෂයට අයිති නොවූ මෙරට ප‍්‍රජාව බයිඩන් ගේ ජයග‍්‍රහණය පැතුවේ කවර චේතනාවෙන්ද? එදා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබලයින් සියලූ දෙනාම බලා සිටියේ හිලරිගේ ජය වෙනුවෙනි. නමුත් හිලරි විය යුතු අයුරින්ම පරාජය විය. දැන් බයිඩන් මහතාගේ ඉලක්කය කුමක්වනු ඇත්ද? හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන 2012 සමයේ ලංකා රජයට ලබා දුන් උපදෙස වූයේ උතුරු ප‍්‍රදේශයේ මිලිටරිකරණය නැවැත්විය යුතු බවත්, සිවිල් සමාජයට කටයුතු කළ හැකි වාතාවරණයක් සහිත මානව හිමිකම් සුරකින පරිසරයක් බිහිකළ යුතු බවත්ය. කෙසේ නමුත් ට‍්‍රම්ප් මැතිඳු රට රටවල මිලිටරිකරණය ගැන කරන්නට ගියේ අතර ඇෆ්ගනිස්තානයෙන් හැකි උපරිම ඇමෙරිකානු භට පිරිස් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

සමහරුන්ට මෙරට බහුතරයක් ට‍්‍රම්ප් මහතාට ලබා දෙන සහය ගැන සිතා ගැනීමට අපහසු සෙයකි. මෙරට පමණක් නොව ඇමෙරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහය ට‍්‍රම්ප්ට හිමිවී තිබිණි. නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක‍්‍රමණික ශ‍්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙවර මැතිවරණයේ දී ජනාධිපති ට‍්‍රම්ප් ට සහාය දැක්වූ බවය. ”මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ එහෙම තියෙද්දිත් සංක‍්‍රමණිකයන් ට‍්‍රම්ප්ට සහාය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි.” පෝද්දල ජයන්ත බීබීසියට ප‍්‍රකාශ කර තිබිණි. මෙතුමාට නොතේරෙන දෙයක් බහුතර ලාංකිකයන්ට තේරෙයි. ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත. ජයන්ත මහතා කිසිවිටක බයියෙකු වන්නේද නැත. ඔහුට එසේවන්නටද නොහැකිය. බයි මනස ඔහුට නැතත් ඇමෙරිකාවේ වෙසෙන අනෙකුත් සිංහලයන්ට එය ඇත.

එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ. ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූවන්ගෙන් 66.9% ක ප‍්‍රතිශතයක් ඡන්දය ප‍්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි. ඒ කෙසේ නමුත් නිව්යෝර්ක් මිලිටරි ඇකඩමියේ උගෙනුම ලැබූ හොඳ සොල්දාදුවෙකු වන ට‍්‍රම්ප් මහතාගේ පරාජය ගැන අපි කනගාටු වෙමු. මෙය ඇමෙරිකාව තුළ යම්, අර්බුදයක් නිර්මාණය කරන තත්ත්වයක් ද නිර්මාණය කළ හැකිය. මන්ද ට‍්‍රම්ප් යනු ඇමෙරිකානු සුදු ක‍්‍රිස්තියානින්ගේ වීරයා වන හෙයිනි. ඇමෙරිකාවේ භූමිපුත‍්‍ර සංකල්පය ප‍්‍රකට කරනු ලැබුවේ ට‍්‍රම්ප් විසිනි. චීනය සමග ගැටුනේ එම නිසාය. ඒ ඇමෙරිකාවේ ආර්ථිකය රැකගැනීම වෙනුවෙනි. එහෙත් අවසානයේ සී. අයි. ඒ. වුවමනාව ජයගත් බව පෙනී යයි.

චතුර පමුණුව - DIVAINA

No comments:

Powered by Blogger.