Header Ads

Breaking News
recent

වරාය සභාපති මාධ්‍ය කැදවයි.. හෙට කැබිනට් පත‍්‍රිකාව ගැන අදම කියයි

2021.01.30 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සභාපති කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් විණි.

එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාපතිවරයා විසින් මෙලෙස අදහස් දක්වන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිවෙමින් පවතී. නැගෙනහිර පර්යන්තය වෙනත් විදේශ සමාගමකට එනම් ඉන්දියාවේ අදානි සමාගමට පවරාදීමට යන බවට මේ දිනවල විශාල කතිකාවක් ගොඩනැගී ඇත. මේ තත්වය නිර්මාණය වීමත් සමග රජය විසින් කමිටු දෙකක් පත්කර තිබේ. එම කමිටු විසින් මෙම තත්වය පිළිබඳ සලකා බලා විශේෂ වාර්තාවක් හෙට දිනයේ ලබා දීමට කටයුතු කරනු ඇත. එම වාර්තාව වරාය හා නාවික ගරු අමාත්‍යතුමා වෙත භාරදීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමා විසින් එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ වනවිට ඉතා සුභවාදීව මෙම තත්වය සඳහා අපහට මුහුණ දීමට හැකිවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. හෙට දිනයේදී මෙම නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගරු අමාත්‍යතුමා විසින් කැබිනට් මණ්ඩලය වෙත අදහස් දැක්වීමට නියමිතය. එය ඉතා සුභවාදීව විසදෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

පසුගිය රජය විසින් ඇති කළ තත්වයක් මත නිර්මාණය වූ මෙම තත්ත්වය, විශේෂයෙන් ජාත්‍යන්තරය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසු එය විසදා ගැනීමේ යම් යම් ගැටළු අවස්ථා උද්ගතවන බවත් ඒ සඳහා නිසි ක්‍රමවේද ඔස්සේ පියවර ගන්නා බැව් වගකීමෙන් යුතුව මම ප්‍රකාශ කරමි.

නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු වෘත්තීය සංගම් ඇතුළු පාර්ශවයන්ගේ අදහස් යෝජනා පදනම් කර ගනිමින් අප විසින් රජය වෙත ඉදිරිපත් කළ වාර්තාව රජය විසින් අනුමත කරන බවට දැඩි විශ්වාසයක් මා තුළ ඇත.

ඒ අනුව අපගේ සියලු බලාපොරොත්තු ඉටු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවකාශය හිමිවනු ඇත. එය සමස්ත වරාය අධිකාරියේ ම අපේක්‍ෂාවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරිත්වය, සියලු සේවක මහත්ම මහත්මීන් හා සියලු වෘත්තීය සමිති මේ සඳහා එක්සත්ව කටයුතු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගැනීමට නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ බවත් මම ප්‍රකාශ කරමි.

නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් සමාගමක් වෙත ලබාදීමක් පිළිබඳ නොව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන ආ ආකාරයට ම ඉදිරියටත් පවත්වාගෙන යාමට, මෙම ගැටළුව සුබවාදීව විසදෙන බවට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින් මා තුළ දැඩි විශ්වාසයක් පවතී. එසේම ඉදිරියටත් එලෙසම නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අපේක්‍ෂිතය.

නැගෙනහිර පර්යන්තය 2017 වර්ෂය වනවිට අවසන් කිරීමට තිබූ ව්‍යාපෘතියකි. නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඳුරුතම කාල පරිච්ඡේදය උදාවන්නේ 2015-2017 කාල වකවානුවේදීය. ඒ කාලය තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැත. අද දවසේ ඉතා උද්යෝගයෙන් කතා කරනා ඇතැම් පාර්ශවයන් ද මේ කාල තුළ කිසිදු හඬක් නොනැගීම කණගාටුවට කරුණකි. මෙම අඳුරු කාල පරිච්ඡේදයේ සිදු වූ විශාල ප්‍රමාදය අපගේ ව්‍යාපාරය වෙත දැඩි සේ බලපෑම් එල්ල කර තිබේ. වරාය ධාරිතාවය පිළිබඳව ද මේ වනවිට අපහට ගැටළුකාරී තත්වයක් පවතී. මේ තුළින් ඉතා විශාල පාඩුවක් වරායට මෙන්ම රටට ද සිදුවිය. මෙම ගැටුම්කාරී තත්වය මගහරවා ගැනීමට අප කඩිනමින් නැගෙනහිර පර්යන්තය පිළිබඳ නිරාකරණයකට පැමිණිය යුතුය. පසුගිය ඔක්තෝබර් මස නැගෙනහිර පර්යන්තයට සුදුසු ප්‍රශස්ත මට්ටමේ ග්‍රැන්ටි්‍ර දොඹකර නොමැතිව වුව ද, නැගෙනහිර පර්යන්තය බහලු මෙහෙයුම් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලද්දේ එබැවිනි.

නිසි ක්‍රමවේද ඔස්සේ නිසි ආකාරයෙන් කටයුතු කිරීම අකුරට වැඩ කිරීමක් ලෙසින් මම අර්ථකතනය කරමි. එබැවින් සියලු සේවක මහත්ම මහත්මීන්ගේ ප්‍රශස්ත දායකත්වය අපේක්‍ෂා කරමි. වෘත්තීය සමිති පාර්ශවයන් වෙත යම් ගැටළුකාරී තත්වයක් පවතීනම් එය විසදා ගැනීමට කටයුතුකිරීමට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස නිරන්තරයෙන් සහයෝගය දක්වන්නෙමි. යම්කිසි පාර්ශවයක් විසින් වරාය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට කටයුතු කරන්නේ නම් එය වරායට පමණක් නොව සමස්ත රටටම බලපාන්න වූ තීරණාත්මක සාධකක් වනු ඇත. එබැවින් වගකිවයුතු වෘත්තීය සමිතීන් ලෙසින් ඔවුන් විසින් සිය කාර්ය භාරය ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි.

– SLPA media


No comments:

Powered by Blogger.