Header Ads

Breaking News
recent

අපි කොවිඩ් රෝගීන් ගාණ අඩු කරගන්නේ PCR අඩුවෙන් කරලා නම් අපි ඉන්නේ බෝම්බයක් උඩ - GMOA

මෙරට PCR පරීක්ෂණ ධාරිතාවය 20,000 දක්වා ඉහළ නංවා ගතයුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයම දැනුම් දී තිබි‍යදී පසුගිය දෙසතිය ඇතැම් අවස්ථාවල එය 10,000ටත් අඩු මට්ටමකට පහත වැටී තිබුණු බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහාම යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

"සමාජය තුළ රෝගීන් ඉන්නවා, අහුවෙච්ච නැති රෝගීන් ඉන්නවා. අපි හැමදාම කිව්ව දෙයක් තමයි අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන් තුළ වැදගත්ම ප්‍රවේශය තමයි පුළුවන් තරම් රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගන්න එක. එතකොට තමයි රෝගීන්ව සමාජයෙන් අයින් කරන්න පුළුවන්. ඒ සඳහා අපි PCR ධාරිතාවය වැඩිකරන්න ඕනෙ. නමුත් ඔබ දන්නවාද ඊයෙ පෙරේදා වෙනකොට අපේ PCR ධාරිතාවය කොච්චරද කියලා ? දැන් මාධ්‍ය මේවා ගැන කතා කරන්නෙත් නෑ. 

වසංගත රෝග විද්‍යා අංශයම කිව්වා PCR ධාරිතාවය අඩුම ගාණෙ 20,000කට ගෙනියන්න ඕනෙ කියලා. ඔබ හොයලා බලන්න ඊයෙ දවසෙ PCR කොච්චරක් කළාද කියලා. ඒකෙන් කොළඹ කීයක් කළාද කියලා. දැන් සති දෙකකට කලින් කොළඹ කරපු PCR ගාණයි දැන් කරන PCR ගාණයි අතර වෙනසක් නැද්ද ? සති දෙක්කට කලින් සමස්ත රටේ කරපු PCR ගාණයි - අපි 17000 සීමාවටත් ගියානෙ රටක් විදියට - ඊයෙ 10000 නම් කරලා තියෙන්නෙ ඒක සැලකිලිමත් වියයුතු තත්වයක් නේද ? 10000ටත් පල්ලෙහා තමයි සමහර පහුගිය දවස්වල කරලා තියෙන්නෙ. 

මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයෙම මෙහෙයුම් මැදිරියෙ දත්ත පත්‍රිකා දෛනිකව අපි දකිනවානෙ. දෛනිකව කරලා තියෙන පරීක්ෂණ සහ අපේ ධාරිතාවය මෙහෙයුම් මැදිරිය කියන පරිදි දැන් 10000ට බැහැලා නම් කොහෙද වැරැද්ද වෙලා තියෙන්නෙ ? එතකොට අපි දැන් අපේ රෝගීන් ගාණ අඩු කරගන්න කරමින් ඉන්නෙ PCR ප්‍රමාණය අඩුවීමෙන් රෝගීන් අඩුවෙනවා නම් ඒක අපිට නොපෙනෙන සැඟවුණු බෝම්බයක් තමයි මේ දැල්වෙමින් තියෙන්නෙ. 

ඒ නිසා විශේෂයෙන්ම අපි PCR ධාරිතාවය උපරිමය කරමින් ඒ ධාරිතාවය එක්තරා මට්ටමක පවත්වා ගනිමින් තමයි මේ ආවේක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ඕනෙ. දැන් අපි PCR වැඩි කරලා රෝගීන් ටික හඳුනාගත්තෙ නැතිනම් ඉදිරියේදී රෝගීන් තව වැඩිවෙන්න පුළුවන්. බලධාරීන්ට අපි ඒ පණිවිඩය දෙන්නෙ, මේ තත්වය ගැන සැලකිලිමත් වෙන්න. ජනතාවට වගේම අපි හැමෝටම මේ වෙලාවෙ වගකීමක් තියෙනවා" යනුවෙනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


No comments:

Powered by Blogger.