(EXCLUSIVE) "අපිව දැන් පයිසෙකට ගනන් ගන්නේ නැහැ" : වොයිස් කට් හිමියන්ගේ ඛේදවාචකය
පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට පෙර "වොයිස් කට්" භික්ෂූන් වහන්සේලා ලෙස ප්‍රසිද්ධ වූ භික්ෂූන් වහන්සේලා අද මුහුණ දෙන ඛේදනීය තත්ත්වය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමි කරයි.
භික්ෂූන් වහන්සේලා එදා පටන්ම මෙරට දේශපාලනයට මැදිහත් වූ බව පෙන්වාදෙන උන්වහන්සේ එදා භික්ෂූන් වහන්සේලා ඒ මැදිහත් වීම කරන ලද්දේ ජාතික අරමුණක් උදෙසා බවද අවධාරණය කරයි.
අවාසනාවකට අද ඒ ජාතික අරමුණු යටපත් වී ස්වාමින්වහන්සේලා කුඩා කණ්ඩායමක් පෞද්ගලික අරමුණු තකා කටයුතු කරන බවත් මේ කුඩා කණ්ඩායම "වොයිස් කට්" ස්වාමීන් වහන්සේලා ලෙස හැඳින්වෙන අතර මේ වන විට උන්වහන්සේලාව සමාජයේ හෑල්ලුවට ලක් වන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.
තමන් වහන්සේට මේ මෑතකදී එවැනි වොයිස් කට් හිමිනමක් මුණගැසුණු බවත් එහිදී උන්වහන්සේ සඳහන් කළ කරුණු ඇසීමෙන් තමන් වහන්සේ කම්පාවට පත්වූ බවද ජිනවංශ හිමියන් අවධාරණය කරයි.
"ඉස්සර අපිට කිසි දෙයක් කරන්න උවමනාව තිබ්බේ නැහැ. පන්සලට වාහනය එනවා. බැනරය සූදානම් කොට තිබෙනවා. ඒ එක්කම මහජනතාවත් ඒකරාශි කොට තිබෙනවා. අපිට තිබෙන්නේ බැනර් ඉස්සරහට ගිහිල්ලා ඒ ගොල්ලෝ ලියලා දෙන එක මාධ්‍යයට කියන එකයි. ඊට පස්සේ වාහනයෙන්ම පන්සලට වඩම්මනවා." යයි වොයිස් කට් වලට ප්‍රසිද්ධ එක්තරා හිමිනමක් තමන් වහන්සේ හමුවේ සඳහන් කළ බව ජිනවංශ හිමි හෙළිදරව් කරයි.
දැන් කොහොමද යැයි තමන් වහන්සේ උන්වහන්සේගෙන් පෙරළා ඇසූ බවත් ඊට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කළේ දැන් තත්වේ එහෙම නොවන බවත්ය.
එදා ආණ්ඩුවට පක්ෂව කෑගැසූ මේ "වොයිස් කට්" භික්ෂූන් වහන්සේලා දැන් ආණ්ඩුවට විරුද්ධව කෑගහන්නේ මෙම තත්ත්වය නිසා බව ජිනවංශ හිමියන් පෙන්වා දෙයි.
ඇත්තෙන්ම මේ කුඩා භික්ෂූන් වහන්සේලා කණ්ඩායම පාවිච්චි කර "වොයිස් කට්" ගැනීම, උද්ඝෝෂණ කරවීම, පෙළපාලි යැවීම උන්වහන්සේලාව අපචාරයකට ලක් කිරීමක් බව ජිනවංශ හිමියන්ගේ අදහස වේ.
බුදුගල ජිනවංශ හිමියන් මෙම හෙළිදරව් කරනු ලැබුවේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
No comments: