Header Ads

Breaking News
recent

අයුතු යෝජනා කියන දේවල් නම් අත්විඳලා ම නැහැ - කැපිලි කෙටිලිවලට නම් මුහුණ දීලා තිබෙනවා - කාවින්ද්‍යා දුල්ෂානි [PHOTOS] : Lanka Gossip Story About Kavindya Dulshani

අයුතු යෝජනා කියන දේවල් නම් අත්විඳලා ම නැහැ

හදවිල අරණ සහ අහස් මාලිගා යන ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය පුංචි තිරයේ අහිංසකාවියයි. ඇය කාවින්ද්‍යා දුල්ෂානි. 

කාවින්ද්‍යාගේ නවතම තොරතුරු මොනවා දැයි දැන කියා ගැනීමට මෙවර හදගැස්මෙන් අපි ඇයට කතා කළෙමු.

මේ දිනවල වැඩකටයුතු කොයි විදියටද සිදුවන්නේ?

මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. 

ඊට අමතරව මම නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවත් එක්ක තරමක් කාර්යබහුලයි.

හදවිල අරණ ටෙලි නාට්‍යයේ නදී ගැන මතක් කළොත්?

ඔව්. ඇත්තට ම ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශනය වෙන ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කරන හදවිල අරණ ටෙලිනාට්‍යයේ නදී කියන්නේ සංගීතය තමන්ගේ ජීවිතය කර ගත්, ඈත පිටිසර ගමක අම්මා - තාත්තා සමග ජීවත්වෙන අහිංසක දුප්පත් තරුණියක්.

නදීට ඉතා ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා ලු නේද?

ඔව්. ඇත්තට ම නදීගේ චරිතයට ගොඩක් අයගේ ආදරය ලැබෙනවා. ඇත්තට ම ඉතින් ඒ ගැන හරි ම සතුටුයි.

අහස් මාලිගා ටෙලි නාට්‍යයේ අහිංසාගේ චරිතය ගැනත් අපි මතක් කරමු.

ඇත්තට ම අහිංසා කියන්නේ හැමදාමත් හොඳ ප්‍රතිචාර ලැබුණු චරිතයක්. වයස් භේදයක් නැතිව හැමෝම අහිංසා කියලා මට කතා කරනවා. 

නම වගේ ම අහිංසා කියන්නේ ඇත්තට ම අහිංසක තරුණියක්.

ඔබ අහිංසක පෙම්වතියගේ ම චරිතයට කොටු වීමක් සිදුවෙලා කීවොත් හරි නේද?

ඇත්තට ම මම තාම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඉතින් මම තාම කරලා තියෙන්නේ ටෙලි නාට්‍ය කිහිපයක් පමණයි. ඒකත් එක්ක මට ලැබුණු චරිත සියල්ලක් ම වගේ අහිංසක චරිත තමයි. 

ඉතින් මම හිතනවා මා තුළින් අහිංසකකමක් පේනවා ඇති කියලා. 

ඒ නිසා මට අහිංසක තරුණියගේ චරිතය ම වැඩිපුර ලැබෙනවා ඇති කියලා මම හිතනවා.

සැබෑ ජීවිතයේදී කාවින්ද්‍යාත් අහිංසා තරම් අහිංසක කෙනෙක් ද?

අහිංසාගේ චරිතය ගලාගෙන යන විධිය බැලුවහම මගේ සැබෑ ජීවිතය සමග සමාන කරන්න බැහැ. 

නමුත් ඉතින් අහිංසාගේ චරිත ලක්ෂණ කාවින්ද්‍යාටත් තියෙනවා කියන්න පුළුවන්. 

මොක ද අහිංසා වගේ ම මමත් ආදරයේදී සෘජු තීරණ ගන්නා හරි ම ආදරණීය, අහිංසක කෙනෙක්.

අහිංසක පෙම්වතියගෙන් ඔබ්බට ගොස් විවිධත්වයෙන් යුතු චරිත තෝරා ගැනීමට කාවින්ද්‍යා තුළ කැමැත්තක් නැද්ද?

ඇත්තට ම නපුරු, දුෂ්ට චරිතයක් තව ම මට ලැබිලා නැහැ. තාමත් මම අහිංසක _ ගැමි තරුණියගේ චරිතය කියන රාමුව ඇතුළේ තමයි ඉන්නේ. 

අහිංසකත්වයෙන් ඔබ්බට ගිය විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව මා තුළ තිබෙනවා කියලා මම හිතනවා.

 ඉතින් හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන් ම භාර ගන්නවා.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

ඔව්. ඇත්තට ම හදවිල අරණ ටෙලි නාට්‍යයෙහි මගේ අම්මාටයි - තාත්තාටයි ඉන්නේ දයා තෙන්නකෝන් මහතා සහ ග්‍රේස් ආරියවිමල් මහත්මිය. 

ඉතින් ඒ දෙන්නව අනිවාර්යයෙන් මතක් කළ යුතුයි. 

ඊට අමතරව මට වැඩ කරන්න ලැබුණු සියලු ම ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝමත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.

නිවේදිකාවක ලෙස වැඩ කරන්න ලැබුණු අත්දැකීම ගැනත් මතක් කරමු?

ඇත්තට ම නිවේදනය වෙන ම අත්දැකීමක්. Hiru Top 10 කියන්නේ නිවේදිකාවක වශයෙන් මගේ ප්‍රථම අත්දැකීම. 

එය හරි ම නිදහසේ ඉදිරිපත් කරන්න පුළුවන් වැඩසටහනක්. ඉතින් මම හිතනවා නිවේදන වැඩ කටයුතුත් මම හොඳින් කරනවා කියලා.

රංගනයට සම්බන්ධ වුණු ආකාරය මතක් කළොත්?

2015 අග භාගයේදී තමයි රංගනයට සම්බන්ධ වුණේ. ප්‍රථමයෙන් මම ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. 

අවසන් 12 දෙනා අතරින් එම නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයකට කෙනෙක්ව තෝරා ගත්තා. ඒ ආකාරයෙන් ඒ අවස්ථාව හිමි වුණේ මට. 

ඉතින් ශාන්ත සොයිසා මහතා අධ්‍යක්ෂණය කළ "මේඝා" ටෙලි නාට්‍යය තමයි මගේ ප්‍රථම ටෙලි නාට්‍යය.

චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා ලැබුණා. මගේ පළමු වන චිත්‍රපටය චාමර ජනරාජ් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ "උතුරු සුළඟ." එය අප්‍රේල් මාසයේදී තිරගත වෙනවා. 

එහි මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. වෙනස් ම අත්දැකීමක් වේවි ඒ චිත්‍රපටයත්. හැමෝට ම ආදරයෙන් මතක් කරනවා උතුරු සුළඟ චිත්‍රපටයත් සමගත් එකතු වෙන්න කියලා.

කාවින්ද්‍යා කියන්නේ සැබෑ ජීවිතයේදීත් පෙම්වතියක් ද?

ඇත්තට ම සැබෑ ජීවිතයේදී නම් තව ම මම පෙම්වතියක් නෙමෙයි.

රංගන ක්ෂේත්‍රය තුළ වුවත් බොහෝ විට කැපිලි කෙටිලිවලට සහ අයුතු බලපෑම්වලට එහෙම මුහුණ දෙන්න සිදුවෙනවා. 

ඔබටත් එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා ද?

ඇත්තට ම මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 3 1/2ක් 4ක් වෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව නම් මේ වෙන තෙක් අයුතු යෝජනා කියන දේවල් නම් අත්විඳලා ම නැහැ. මම දන්නේ නැහැ එහෙම දේවල් මේ ක්ෂේත්‍රය තුළ සිදුවෙනවා ද කියලා. 

හැබැයි කැපිලි කෙටිලි කියන දේවල් ඕනෑ ම ක්ෂේත්‍රයක තියෙනවා. 

ඒ වගේ ම සාමාන්‍යයෙන් සම වයසේ අය අතර සිදුවෙන පොඩි පොඩි කැපිලි කෙටිලිවලට නම් මුහුණ දීලා තිබෙනවා.

වර්තමානයේදී සම්මාන ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව ඔබට මොන වගේ අදහසක් ද තිබෙන්නේ?

මම දකින විධියට නම් මෑත කාලයේදී ඇත්තට ම සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ වගේ ම හරි ම සාධාරණ විදියට ඒ දේවල් සිදුවෙනවා කියලා තමයි මම නම් හිතන්නේ.

රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට නම් හැදෑරීම කියන දේ අත්‍යවශ්‍යයි කියා ඔබ සිතනවා ද?

අත්දැකීම් සහ තමන් ඉගෙන ගන්නා දේවල් කියන දේ රංගන ශිල්පිනියක් විධියට ඉදිරියට යන්න අත්‍යවශ්‍යයි. 

ඒ අතරින් අත්දැකීම් ඒකරාශි කර ගැනීම රංගන ශිල්පිනියකට ඉතා ම වැදගත්. ප්‍රවීණයන්ගෙන් සම වයසේ අයගෙන් හෝ යමක් ලබා ගත හැකි නම් ඒ දේවල් ඔවුන් තුළින් ලබා ගන්නවා.

පවුලේ විස්තර ගැන මතක් කළොත්?

මගේ පාසල ‍දොම්පේ දේවි බාලිකා විද්‍යාලය. මගේ පවුලේ අම්මායි, තාත්තායි, මමයි, නංගිලා තුන්දෙනයි තමයි ඉන්නේ.

පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

මුලදි නම් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. නමුත් දැන් නම් හැම දේට ම පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරමු?

හොඳ, ප්‍රේක්ෂකයන්ට වැදගත් චරිත ටිකක් කරන්න මගේ ලොකු ආසාවක් තියෙනවා.

ඇත්තට ම මට අවශ්‍ය අනාගතයේදී හොඳ ම නිළිය කියන කාණ්ඩයට අයත් වෙන්න පුළුවන් විධියේ වැඩ ටිකක් කරන්න තමයි.

ස්තූතිවන්ත වෙන්න පිරිසකුත් ඇති නේ ද?

ශාන්ත සොයිසා මහතා, ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා ඇතුළු මේ දක්වා මම රංගනයෙන් දායක වුණු සියලු ම ටෙලි නාට්‍යවල සියලු ම අධ්‍යක්ෂවරුන් සහ උදවු උපකාර කළ සැමටත් ගොඩක් ස්තූතියි.

No comments:

Powered by Blogger.