රනිල්ගේ යළි මන්ත්‍රී ගමනට එරෙහි සජිත් පිලේ පළමු වෙඩි මුරය
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු සමගි ජන බලවේගය දෙදරා කැඩී යයි යන අදහස එජාපයේ බොහෝ දෙනකු තුළ තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අවධාරණය කරයි. එහෙත් එවැන්නක් සිදුනොවන බව පෙන්වා දෙන අබේසිංහ මහතා වික්‍රමසිංහ මහතා සමග යාමට අවශ්‍ය කෙනෙක් සිටින්නේ නම් එසේ ගොස් එජාපයට එකතු වීමට ඕනෑ තරම් අවස්ථාව තිබෙන බවද අවධාරණය කරයි.
එහෙත් සමගි ජන බලවේගය , වර්තමාන එජාපය නායකත්වය සමඟ එකතු වුණොත් තමා ස්වාධීන වන බවත් තමා සමඟ එසේ ස්වාධීන වීමට සමගි ජනබලවේගයේ අති බහුතරයක් සිටින බව තමා එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස වගකීමකින් යුතුව ප්‍රකාශ කරන බවද අබේසිංහ මහතා පෙන්වා දෙයි
ඒ බව තමා පමණක් නොව සමගි ජන බලවේගය ප්‍රධාන නායකයින් කිහිපදෙනකුම ප්‍රකාශ කොට තිබෙන බවද අබේසිංහ මහතා පෙන්වා දෙයි.
ලංකාවට නිදහස් දුන් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 1994 සිට මේ දක්වා අලියා ලකුණින් මැතිවරණ 34 කට මුහුණදී ඉන් මැතිවරණ 31 කක් පරාජය වූ බවද අබේසිංහ මහතා පෙන්වා දෙයි.
පක්ෂයේ නායකයෝ 165 දෙනෙක් පක්ෂය දමා ගොස් ඇති බවත් 1994 සිට මේ දක්වා එජාපයෙන් ජනපතිවරයෙක් බිහි කර ගැනීමට නොහැකි වූ බවද පෙන්වා දෙන අබේසිංහ මහතා දේශපාලනය යනු බලය ලබා ගැනීම සහ ලබාගත් බලය රැකගැනීම බවද සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ බලය ලබාගන්නත් බැරි නිසාත් ලබාගත් බලය රැක ගැනීමට බැරි නිසාත් ජනතාව එජාපයට පාඩමක් උගන්වා තිබෙන බවත් ජනතාව එසේ පාඩම් ඉගැන්වූ අය සමග යළි එකතු වීමේ අවශ්‍යතාවයක් නැති බව ද අබේසිංහ මහතා අවධාරණය කරයි.
මහා මැතිවරණයේදී පරාජය වුණ අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය නොදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතාම කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා හඳුන්වා දුන් ප්‍රතිපත්තිය ඔහු විසින්ම කඩ කරමින් පාර්ලිමේන්තුවට එන බවට අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා චෝදනා කරයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට මහ මැතිවරණයේදී ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඉතා නුදුරේම එජාප නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත අතර බොහෝ විට එය මේ මාසය තුල සිදු වෙතැයි වාර්තා වේ.
No comments: