Header Ads

Breaking News
recent

ලංකාවට බැංකොක් පන්නයේ වෙලදපලක් හදනවා… ලංකාවට ඩොලර් ගේනවා..- විමල්

සාම්ප්‍රදායික කර්මාන්තපුරයකින් ඔබ්බට ගිය, සංචාරකයන් ඉලක්ක කරගත් තායිලන්තයේ බැංකොක් පන්නයේ සංචාරක වෙළදපොළක් සමඟ දේශීය අපනයන නිෂ්පාදන තොග වෙළදාම ද සහිත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සමීප කටාන ප්‍රදේශයේ ඉදි කෙරෙන ‘අපනයන නිෂ්පාදන කර්මාන්තපුරය’ මගින් රටට කඩිනමින් විදේශ විනිමය ගෙන ඒම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා සංචාරක අමාත්‍යාංශයේ දී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ජනාධිපතිතුමන් සහ තමන් අතර පැවති සාකච්ඡාවක දී යෝජනා වූ ‘අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන කර්මාන්තපුරය’ පිහිටුවීමට වඩාත්ම සුදුසු ස්ථානය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ අක්කර 200ක භූමිභාගය හදුනාගෙන ඇති බව ද කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ප්‍රදේශයට වැඩි වටිනාකමක් එකතු වන, දේශීය ආර්ථිකයට ශක්තියක් වන මෙවැනි ව්‍යාපෘතියක ජාතික වශයෙන් ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඊට එකඟ වන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මෙම අවස්ථාවට එක්ව සිටි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සාකච්ඡාව ආරම්භයේ දී මෙම විශේෂ කර්මාන්තපුරයට සිය විරෝධය පළ කළ අතර කර්මාන්ත අමාත්‍යවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තමන් යෝජනා කර ඇති කටාන නගර සැලැස්ම සමඟ මෙම විශේෂ කර්මාන්තපුරය ඉදිකිරීමට විරුද්ධ නොවන බව ඔවුහු කියා සිටියහ. මෙම අවස්ථාවේ ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මැති ඇමතිවරුන් පවසා සිටියේ මෙම ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘතියට විරුද්ධ වීමට වඩා එය ප්‍රදේශයට ගැලපෙන ලෙස සකස් කර ගැනීම වැදගත් බව ය.

ඒ අනුව අදාළ ඉඩමේ, කටාන නගර සැලසුම සමග මෙම විශේෂ අපනයන කර්මාන්තපුරය ඉදිකිරීමට අවශ්‍ය මිශ්‍ර නගර සැලැස්මක් නිර්මාණය කිරීමට විමල් වීරවංශ මහතා යෝජනා කළේය. එසේම හැකි ඉක්මනින් අදාළ ඉඩමේ මැනුම් කටයුතු සිදුකර, නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ප්‍රදේශයේ පළාත් පාලන ආයතන ද සම්බන්ධ කරගනිමින් ‘මිශ්‍ර නගර සැලැස්ම’ සකස් කරන ලෙස කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, කර්මාන්ත සංවර්ධන අධ්‍යක්ෂ වින්දික පියරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

No comments:

Powered by Blogger.