Header Ads

Breaking News
recent

කොතලාවල පනත රටට හොඳ නෑ! උද්ඝෝෂණ කළ ගුරුවරුන්ට කළේ අපරාධයක්! ඇල්ලේ හිමිත් යළි සටනට!

‘කොතලාවල අධ්‍යාපන පීඨ පනත ප්‍රශ්නය මේ රටට හොඳ එකක් නොවෙයි. ඒ වෙනුවෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළ ගුරු වෘත්තීය සමිතිවලට එදා සැලකූ ආකාරය ශෝචනීයයි. හරිනම් එයට විරුද්ධව සිවිල්සංවිධාන සහ මෙරට ජනතාව නැඟී සිටිය යුතුයි. නමුත් එවැන්නක් වුණේ නැහැ. අපි කියන්නේ ගුරුවරුන්ගේ ප්‍රශ්න පන්දුවක් කර නොගෙන විසඳුම් ලබාදීම කරන්න කියලයි. 

පසුගිය කාලසීමාවේදී ගුරුවරුන් විශාල කැපකිරීම් කළා. ඔන්ලයින් ඉගැන්වීමත් ඒ අය කළේ යහපත් චේතනාවෙන්. මේවාට හොඳ කියන්න ඕනෑ වෙලාවක මහ පාරේ ඇදගෙන ගිහින් කූඩු කරලා දාන එක ලොකු අපරාධයක්. ආණ්ඩුව කළ යුත්තේ ගුරුවරු විවේචනය නොකර ප්‍රශ්නවලට විසඳුම්
ලබාදීම. ගුරු සටන සාධාරණයි’ යනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමියේ ප්‍රකාශ කළහ.

රටේ අනාගතය වන දරු පරපුරේ අධ්‍යාපනය බිඳ වැට්ටීමට කටයුතු නොකර ගුරු සංගම්වල සාධාරණ ඉල්ලීම්වලට සාවදානව සවන්දී ඒවාට විසඳුම් ලබා දීමට රජය වහාම පියවර ගත යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ.

පසුගිය කාලසීමාවන්හිදී විශාල කැපකිරීම් කරමින් මෙරට දරු පරපුරට අධ්‍යාපනය ලබා දුන් ගුරුභවතුන්ට වර්තමානයේදී ඉතා අශීලාචාර ලෙස සලකමින් අඩන්තේට්ටම් කිරීම තමන්වහන්සේ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද ගුණවංශ හිමියෝ පැවසූහ.

ගුරු වෘත්තීය සමිති නායකයන් නිරපරාදේ සිරගත කර තැබීම ද අනුමත කළ නොහැකි බව කී උන්වහන්සේ ගුරුවරුන්ට දොස් පවරන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කරනු ලබන ක්‍රියාවන් හොඳ දැයි ප්‍රශ්න කර සිටින බවද කීහ.

දිවයින පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.


No comments:

Powered by Blogger.