Thursday, March 13 2025

Header Ads

හොර අලි ප්‍රශ්නය උග්‍ර වෙයි… ඉෂිණි වික්‍රමසිංහ සත්ත්වෝද්‍යානයෙන් ඉල්ලා අස්වෙයි!

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ   හදිසියේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

අලි පැටවුන් සොරකම් කිරීම සහ නීති විරෝධීව ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කටයුතු හේතුවෙන් රජයේ භාරයේ සිටි අලි පැටවුන් 14 දෙනකු අදාළ චෝදනා ලත් පුද්ගලයන්ටම භාර දීම සඳහා රජයේ නීතිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇතැයි අරංචි මාර්ග සඳහන් කළේය.

පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ මෙම අලින් සම්බන්ධ නඩුවක දී රජයේ නීතිපතිවරයා අගොස්තු මස 19 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද රජයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මත පදනම් වෙමින් අලි පැටවුන් 14 දෙනකු අදාළ චෝදනා ලත් පුද්ගලයින්ට ම යළි ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබු අතර මෙම අලින් අදාළ චූදිතයන් නමින්ම ලියාපදිංචි කිරීමට ද අවසරය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර අධිකරණයෙන් ඊට අවසරය ලැබිණ.

කෙසේ වුවද මෙම තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ දැඩි විරෝධයක් එල්ලවූ අතර ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නීතිපතිවරයා විසින් ගන්නා ලද තීරණය වන ජීවි ආඥා පනතට අනනුකූල වන අතර ව්‍යස්ථා විරෝධී භාවයක්ද පවතින බවය.

මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇති ඉෂිනි වික්‍රමසිංහ  සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර එම ලියි භාර ගත්තේද යන්න පිළිබඳව තවමත් අදාළ අංශ තහවුරු කර නැත.

ඉෂිනි වික්‍රමසංහ මහත්මිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩිමහල් සොහායුරා වන ටී.එන්එල් රූපවාහිනියේ සභාපති ශාන් වික්‍රසිංහ මහතාගේ දියණිය වන අතර ඇය පසුගිය ජනාධිපතවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටනේ කැපී පෙනෙන භූමිකාවක් කළ කාන්තාවකි.

ඒ අනුව ඇයගේ ඉල්ලීමක් මත ඇයට ජාතික සත්ත්වොද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තනතුර පිරිනැමීමට කටයුතු කෙරිණි.


Leave a Comment

Powered by Blogger.