Header Ads

Breaking News
recent

ඩීසල් ප්‍රමාණවත් තව දින 4ටයි... අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා උග්‍රයි – ගම්මන්පිල මාධ්‍ය අමතයි (VIDEO)

ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඩීසල් මෙටි්‍රක් ටොන් 22,000ක් මේ වන විට රට තුළ තිබෙන බවත් තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද (2) සවස පැමිණීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.

මේ වන විට රට තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ ජනතාව වෙනදාට වැඩි ප්‍රමාණයන්ගෙන් ඉන්ධන ලබාගැනීම නිසා බවත්, ඒ හේතුවෙන් දිනකට උපරිමය ලෙස ඩීසල් නිකුත් කරන්නේ මෙටි්‍රක් ටොන් 5,000ක් බවත් අමාත්‍යවරයා පැවසීය.

එම ප්‍රමාණය ඉදිරියේදී මෙටි්‍රක් ටොන් 3,000ක් දක්වා සීමා කිරීමට සිදුවන බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.

ඉන්දියානු ණය පහසුකම් නිසා මාරතු අග සිට සිට අප්‍රේල් අග දක්වා ඉන්ධන හා ඖෂධ ලබාගත හැකි බැවින් යම් සහන කාලයක් ලැබෙන නමුත් එම ණය වසරක් වැනි කාලයක් තුළ ගෙවීමට රජයට සිදුවන බව ඇමතිවරයා කීවේය.

ආණ්ඩුව ඉදිරිපත් වී ඉන්ධන ගෙන්වීමට සහනයක් ලබාදෙන්නේ හෝ තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නේත් නැතිනම් සහ බැංකුවලින් ණය ගන්නත් බැරිනම් ඉදිරියේදී අඛණ්ඩව තෙල් ගෙන්වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව කී ඇමතිවරයා එවැනි සහන නොමැතිව අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියාදෙන්නේ නම් තමන් එය ක්‍රියාත්මක කරන්නට සූදානම් බව ද කීවේය.

මේ සියල්ලට මුල ඩොලර් හිඟය බැවින් ණය පහසුකම් ගැනීම මෙන්ම අනවශ්‍ය ආනයනයන් සීමා කිරීම ද කළ යුතුයැයි කී ඇමතිවරයා පානීය ජලය, ඇපල් මිදි, ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළ යුතුව ඇතැයි ද පැවසීය.


No comments:

Powered by Blogger.