Header Ads

Breaking News
recent

ෂාෆ්ටර් සිය දිවි නසාගත් බවට සැකයක් ? CCTV දර්ශන මගින් හෙළි වුන දෙයින් පොලිසියත් පුදුම වෙලා!

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත්තේ දැයි යන්න ගැන අපරාධ විමර්ශකයන්ගේ දැඩි අවධානය මේ වනවිට යොමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 
ෂාෆ්ටර් මහතා සිය නැන්දම්මාට (බිරියගේ මවට) ලියන ලදැයි කියන ලිපියක් මුල් කරගෙන විමර්ශකයන්ගේ අවධානය ඊට යොමුවී ඇත. හැඟීම්බර අදහස් අඩංගු එම ලිපිය සහ ඇයට යවන ලද එම අදහස්ද සහිත කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශකයන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. දිනේෂ් ෂාෆ්ටර් ගමන්ගත් මෝටර් රථයේ කිසිවකු ගමන් නොකළ බවට සක්සුදක් සේ සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලි සාක්ෂි ඇතත් එහි තිබූ කිසියම් දෙයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

දිනේෂ් ෂාෆ්ටර් පසුගිය 15 වැනිදා තම බිරිය සමඟ එංගලන්තය බලා යෑමට හෝරා කිහිපයක් තිබියදී බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථය තුළ සිට සොයාගත්තේ දෙඅත් පටියකින් බැඳී ගෙල වයරයකින් සිරවී තිබියදීය.

විධායක නිලධාරිවරයෙක් සුසාන භූමියේ සේවකයකුගේ සහායෙන් යුතුව ඔහු රෝහල් ගත කර තිබිණි. අනතුරුව එදිනම පැය පහයි මිනිත්තු 15කට පමණ පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මෝටර් රථය ස්ථානගත කර තිබූ ස්ථානය පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය දැඩිව යොමුවී ඇති අතර සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ යැයි හඳුන්වන එම ප්‍රදේශය පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන ඇත.

සමාගම් කිහිපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් කරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබාගැනීමට නොහැකි වීමෙන් ඔහුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයිද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රිවරයකු සම්බන්ධ වී කළ ව්‍යාපාරයකට ආයෝජනය කළ කෝටි 85ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් වෙත ලබාදුන් රුපියල් කෝටි 160ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී  තත්ත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2,000ක් පමණ ඔහුට පාඩු සිදුවී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වනවිට අනාවරණය වී ඇත.

තවද ඔහු පදිංචිව සිටින කුරුඳුවත්ත, මල් පාර නිවෙස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළ කර තිබූ බවත් පවුලේ සමීපතමයෝ පවසා ඇත. දිනේෂ් ෂාෆ්ටන්ගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර සීසීටීවී දර්ශන 70ක පමණ දර්ශන පරීක්ෂාවට ලක්කර ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය පරීක්ෂණ පවත්වයි.

උපුටා ගැනීම - මව්බිම (බිමල් ජයසිංහ)


No comments:

Powered by Blogger.