Header Ads

Breaking News
recent

දේශබන්දු නීතිය නමලා... ISU ලොක්කාට තර්ජනය කරලා... ඇමතිවරයෙකුට සල්ලි දෙන්නැයි කියලා…. පරීක්‍ෂණ කරන්න නියෝග!

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තමාට දුරකතන ඇමතුම් ලබා දෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වෂයෙන් තර්ජනය කළ බවත්, තමා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත්, දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේ දී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පටලවතියි හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් කරතියි බියෙන් පසුවන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය සම්බන්ධයෙන් තමා සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතා අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේම මෙය සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙසට පොලිස්පති දැනුම් දුන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකට දැනුම් දුන්නේය. ඊට විරෝධය පළ කළ නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත්ය. එලෙස පොලිස්පතිවරයාට විමර්ශන වෙනත් අංශයකට බාර දීමට සිදු වන්නේ විශේෂ විමර්ශන ඒකකට නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදු කරන නිසා එලෙස වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී රුපියල් එක්කෝටි ඇත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඒවා කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දී තිබේ.

එලෙස බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ටිරාන් අලස් අමාත්‍යවරයාට ලබා දෙන ලෙසට තමාට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණයට කියා තිබිණි.

එලෙස බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට කොටුව පොලිසිය මෙම මුදල් සොයා දුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වයි.

– Repoter


No comments:

Powered by Blogger.