Header Ads

Breaking News
recent

ක්‍රිකට් වීසා වංචාවල තොරතුරු ඉල්ලා මන්ත්‍රී හේෂා ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයට: මෙම වසරේ එල්පීඑල් මහා පරිමාන වංචා රැසක් හෙළිදරව් කිරීමේ සූදානමින්

පසුගිය වසරේ පැවති විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී වීසා ලබාගැනීමේදී සිදුව ඇතැයි වාර්තා වන වංචා දූෂණ හේතුවෙන් එහි තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා (26දා) ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් භාරදී තිබෙනවා.

අදාළ ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා හෙළිදරව් කර රටේ ක්‍රීඩාව නවමු මාවතකට ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වංචා දූෂණ ඉදිරියේදී අනාවරණය කරන බවද ඔහු පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා මන්ත්‍රීවරයා,

'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාල සීමාවේ වීසා ලබාගැනීමට කටයුතු කළ ආකාරය සහ එහි තොරතුරු අපි ලබාගෙන ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ කරපු වංචාවල තොරතුරු නිවැරදිව ජනතාව දැනුවත් කරන්න පියවර ගන්නවා. ක්‍රිකට් ආයතනය මේ කරන ක්‍රියාදාමය හරහා නිර්මාණය වන අපකීර්තියට ඔවුන් වගකිව යුතුයි. මේ තියෙන්නේ එක ලෝක කුසලානයක තොරතුරු පමණයි. මීට වඩා කතා කරන්න දූෂණ වංචා ගොඩාක් වෙලා තියෙනවා. ක්‍රිකට් ආයතනය මේවනවිට ඒ සියල්ල වහගෙන, තමන්ගේ සල්ලි යොදවලා වහගෙන ඉන්න ස්වරූපයක් අපි දකිනවා.

ක්‍රිකට් අනාගතය තියෙන්නේ ක්‍රිකට් ආයතනය මේ කරන සෙල්ලම් එක්ක නෙමෙයි. නමුත් ගමේ ක්‍රිකට් නංවන්න වැඩපිළිවෙලක් අපි දකින්නේ නැහැ. එනිසා ගමේ ක්‍රිකට් නංවන්න ඒ අවශ්‍ය කරන විනිවිදභාවය ක්‍රිකට් ආයතනය තුළ ඇතිවෙන්න ඕන. අපි හිතනවා වත්මන් ක්‍රිකට් ආයතනය පාලනය කරන අය කරලා තියෙන සැම වංචාවක්ම මේ රටේ ජනතාව දැනගත යුතුයි, පාර්ලිමේන්තුව දැනගත යුතුයි, ගරු ජනාධිපතිතුමා දැනගත යුතුයි.

මේ ලෝක කුසලානයේ කළ දූෂණ, අක්‍රමිකතා විගණකාධිපතිතුමා හෙළිදරව් කරලා තිබෙනවා. මොවුන්ට අපරාධ චෝදනා ගොනු කරනන කියලා නිර්දේශ තියෙනවා. ඉදිරියේදී ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක වේවිද යන්න අපි සොයා බලනවා වගේම මෙම වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහා විශාල වංචා දූෂණ ඉදිරියේදී අනාවරණය කරන්නත් පියවර ගන්නවා.

මේ ක්‍රිකට් ආයතනය ගිලගෙන ක්‍රිකට් විනාශ කරන මේ පාලක මණ්ඩලය එළවලා දාලා රටේ ක්‍රිකට් නැවතත් අලුත් මාවතකට ගේන්න කටයුතු කරනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා අපිට පේනවා යම්කිසි උනන්දුවක් අරගන්නවා මේක නිවැරදි භාවයට පත් කරන්න. අපි බලාගෙන ඉන්නවා ඔහු ඒ වෙනුවෙන් කටයුතු කරාවිද කියලා' යනුවෙන් පවසා සිටියා.


No comments:

Powered by Blogger.