Header Ads

Breaking News
recent

උද්දිකගේ රංගනය – වෙඩි තියපු පොලිස් ASP හිටිහැටියේ ධනවතෙක් වෙලා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට රටින් පලාගිය සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මෑත කාලයේ දී හිටි හැටියේම ධනවතෙක් වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

රටින් පළාගොස් සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා පොලිසියේ ඉහළ පොලිස් නිලධාරීන් මෙන්ම විවිධ තරාතිරම්වල නිලධාරීන් ඉතා සමීපව ඇසුරු කරන බැවින් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ ගැන තොරතුරු ලැබීම හේතුවෙන් කඩිමුඩියේ මලයාසියාවට පලාගොස් ඇති බව පෙනීයන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි මෙම නිලධාරියා සතුව කෝටි ගණනක මුදලක් මෙන්ම කෝටි ගණනක දේපොළ ඇති බවට තොරතුරු ද අනාවරණය වෙමින් ඇති බවත් මෙම දේපොළ උපයාගත් ආකාරය ගැන විමර්ශනයක් පැවැත්වීමට අවධානය යොමුව ඇති බව ද එම නිලධාරියා පැවැසීය.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා සිය නිල රථය ලෙස පරිහරණය කර ඇත්තේ ඔහුට අයත් පෞද්ගලික බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය බවත්, එම රථය පරිහරණය කරනවා වෙනුවට පොලිස් දෙපාර්තමේන්තුවෙන් කුලියක්ද ගෙවා ඇති බවත්, එම උසස් පොලිස් නිලධාරියා කීය.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබෙනුයේ සුළු කුලී මුදලක් වූවත් ඔහු එම රථය සිය නිල රථය ලෙස යොදාගත් බවත් එවැනි මිල අධික රථයක් ඔහු පරිහරණය කරන්නේ කෙසේ දැයි කියා කිසිදු බලධාරියෙක් සොයා නොබැලූ බවත් එම නිලධාරියා කීය.

මෑතකදී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආන්දෝලනාත්මක චරිතයක් වන ව්‍යාපාරිකයකු සමඟ රටින් පළාගිය සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම ළඟින් ඇසුරු කර ඇති බවටද තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තබන්නේ පසුගිය වසරේ සැත්තැම්බර් 18 වෙනිදා රාත්‍රී කාලයේදීය.

එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ උද්දිකගේ අනුදැනුම මත සහකාර පොලිස් අධිකාරිවරයා විසින් බව මේ වන විට හෙළිවී තිබේ.

වෙඩි තබා ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිල ගිනි අවියෙනි.

පසුව එම අවිය කැඩී ඇති බව පවසා ගිනි අවිය මධ්‍යම අවි ගබඩාවට ලබාදී වෙනත් අවියක් ලබාගෙන ඇත.

වෙඩි තැබීමේ රංගනයෙන් පසු පවුල් පිටින් උද්දික ප්‍රේමරත්න රටින් පිටව ගොස් කැනඩාවේ රැකවරණය ලබමින් මේ වන විට ජීවත්වේ.(දිනමිණ)


No comments:

Powered by Blogger.