Header Ads

Breaking News
recent

ඇමති ප්‍රසන්න රණතුංග අමත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක!

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරි දින කිපය තුළ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ඉඩක් ඇතැයි ආණ්ඩුවේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගොඩනැගෙන ඡන්ද ව්‍යාපාරයට අවාසි සහගතවන සාධක කීපයක් හේතුවෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත්ව මෙම ඉල්ලා අස්වීම සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

දැනට ප්‍රසන්න රණතුංග  පසුවන්නේ අපරාධ නඩුවකට වරදකරු වී වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසර පහකට අත්හිටවූ දඬුවමක් විඳිමිනි.   තමන්ට නියම වී ඇති අත්හිටවූ සිර දඬුවමින්  නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති ඇපෑල සැප්තැම්බර් මස 12 වැනිදා විභාගයට ගැනීමට නියමිතව ඇති බැවින් ජනාධිපතිවරණය මුව විට ඇති අවස්ථාවක එම නඩුකරය කැඳවීම ජනාධිපතිවරණයේ ප්‍රචාරක වැඩපිළිවෙළට බාධාවක් වනු ඇතැයි යන පුරෝකථනය මෙම ඉල්ලා අස්වීමට  එක් හේතුවක් වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති ඇපෑල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරිමට අභියාචනාධිකරණය පසුගිය දා තින්දු කළේය.

ඒ අනුව අදාල ඇපෑල මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන්, පී. කුමාරන් රත්නම් සම්පත් විජේරත්න සහ මායාදුන්නේ කොරයා යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සැප්තැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාල චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර පහකට අත් හිටුවීමට තීන්දු කර තිබිණි.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබුවේය. කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් මේ තත්ත්තවය තුළ නුදුරු දිනක දී කිසියම් පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කරමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අමත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ද අනතුරුව ඔහු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට පූර්ණ කාලීනව කැප වනු ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


No comments:

Powered by Blogger.