Header Ads

Breaking News
recent

‘වසන්තගේ දේහය එලියට දමනු..’ – ජයරත්න මල් ශාලාවට එතෙරින් තර්ජන... පොලිස් රැකවල් යොදයි

අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටූ කලාගාරයක් තුළදී නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට තර්ජනාත්මක ඇමතුමක් පෙරේදා (10) රාත්‍රියේ ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රාත්‍රී 11.50ට ලැබී තිබූ එම ඇමතුම එහි සේවකයන් විසින් ලබාගෙන ඇති අතර එයින් කියැවී ඇත්තේ දේහය තබා ගත්තොත් ඵල විපාක විඳීමට සිදුවන බවය.

ඒ සම්බන්ධයෙන් එම සේවකයන් විසින් බොරැල්ල පොලිසියට ද පැමිණිලි කර ඇත. මල්ශාලාවේ ස්ථාපිත දුරකතනයේ පැමිණි දුරකතන අංකය සටහන් නොවන බවත් ඒ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග අනුව දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන ඇමතුම ලද දුරකතන අංකය සොයාගෙන ඒ අනුව ලිපිනය සොයාගෙන පුද්ගලයා හඳුනා ගැනීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා පැවසීය.

එම තර්ජනාත්මක ඇමතුම මෙරට සිට ලබා දුන් එකක් ද? විදේශීය රටක සිට ලබා දුන් එකක් ද? පැහැදිලි ලෙස ඒ අනුව කිව නොහැකි බව එම නිලධාරියා කීය

ඉකුත්දා (08) ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඔහුගේ බිරිය මෙන්ම ජනප්‍රිය ගායිකා කේ. සුජීවා සහ ඇගේ සැමියා ඇතුළු කීපදෙනකු ටැටූ කලාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබිණි.

බරපතළ තුවාල ලද ක්ලබ් වසන්ත ඇතුළු පිරිස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වසන්ත සහ තවත් පුද්ගලයකු ඒ මොහොත වන විටත් මරණයට පත් වී තිබිණි.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබූ අතර හිසට සහ පපුවට මෙන්ම උදරයට එල්ල වී තිබූ වෙඩි උණ්ඩ අටක් ක්ලබ් වසන්තගේ සිරුරේ තැන තැන තිබී සොයා ගැණින.

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව බොරැල්ල පෞද්ගලික මල් ශාලාවට රැගෙන එනු ලැබීය.

විදේශගතව සිටින සමීප ඥාතීන්ගේ කීපදෙනකු මෙරටට පැමිණීමට නියමිතව තිබූ බැවින් අද (12) පෙරවරු 8.30 සිට දේහය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කර හෙට (13) සවස පහට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.


No comments:

Powered by Blogger.