Header Ads

Breaking News
recent

ද්විත්ව ඝාතන සිද්ධිය ගැන මෙතෙක් කළ සියලුම ප්‍රකාශ කරන්න වුනේ පොලිසියේ බලපෑම මත… ටැටූ දුලාන් අධිකරණයට කියයි!

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජය විසින් ලබා දුන් සියලුම ප්‍රකාශ ස්වේච්ඡාවෙන් ලබා දුන් ඒවා නොවන බවත්, එම ප්‍රකාශ පොලිසියේ බලපෑම මත සිදුකරන්නට බල කළ ඒවා බවත් අද ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම විමර්ශනයට අදාල සාක්ෂි සිද්ධියේ මුල් අවස්ථාවේ සිටම සමාජ මාධ්‍ය හා මාධ්‍යය වෙත මුදා හැර තිබුණු බවත් ඒ සම්බන්ධව අධිකරණයේ විශේෂ අවධානය යොමු වූ බවත් විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන අද මාධ්‍යය ඉදිරියේ පැවසුවේය.

අපරාධ දිනයේ සිට සාක්ෂිමය වශයෙන් වැදගත්වන පොලිස් භාරයේ තිබූ සීසීටිවී දර්ශන මාධ්‍යයේ විකාශනය වුන ආකාරය සම්බන්ධව මාධ්‍ය ආයතනවලින් ප්‍රකාශ ගෙන සටහන් කරගන්නා ලෙස ද, මෘත දේහයේ ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරුණු ආකාරය සම්බන්ධව අධිකරණ  වෛද්‍ය පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද, අධිකරණය නියෝග කළ බව ද නීතිඥවරයා කීවේය.

මෙම නඩුවේ විමර්ශන පවත්වන්නේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වුව ද විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීමට එම ඒකකය මෙතෙක් අධිකරණයට පැමිණ නැති බැවින් ඊලඟ නඩු දිනය වන අගෝස්තු මස 05 වැනිදා එම ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස අධිකරණය බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නියෝග කර තිබේ.

මේ නඩුවේ ඉදිරි විමර්ශන නීතිපතිගේ මැදිහත්වීමෙන් කරන්න කියලා නියෝග කර තිබේ.

සැකකරු විසින් කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ විනාඩි 40ක රහස් ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් 08 දෙනා 2024.08.05. රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


No comments:

Powered by Blogger.