Friday, November 7 2025

Header Ads

Breaking News

මාලිමා මන්ත‍්‍රීලාගේම විරෝධය.. ඇමති නලින්දලාගේ තීන්දුව රිවස් කරයි…

කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයට පෞද්ගලික වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට ගත්තීන්දුව ආපසු හැරවීමට හේතුව ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ සිටින වෛද්‍ය කණ්ඩායම මෙම තීරණයට එරෙහිව බලවත් විරෝධය පළ කිරීම බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම විශ්වවිද්‍යාලය සිය වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා ප්‍රසිද්ධ දැන්වීමක් පළ කිරීමෙන් පසුව ඔවුන් සිය විරෝධය පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේ පක්ෂ නායකත්වය වෙත පළකර ඇති අතර ඉන් පසුව කෙඩෙට් සිසුන් සහ විදේශීය සිසුන් පමණක් බඳවා ගැනීමට හදිසියේ තීරණය කර ඇත.

ඒ අනුව වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ විරෝධය සමනය කිරීමට එදිනම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙම තීන්දු වෙනස පාර්ලිමේන්තුවටද දැන්වීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීමට විරුද්ධ මතයක් පසුගිය කාලයේ ජාතික ජන බලවේගය විසින් දරන ලද අතර මාලබේ සයිටම් සරසවියට එරෙහි විරෝධයේද එම පක්ෂය තීරණාත්මක භූමිකාවක් කළ බව ද එහිදී එම වෛද්‍යවරුන් පෙන්වාදී ඇති අතර රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ලබා ගනිමින් මෙරට සිසුන්ට මෙම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධි ලබා ගැනීමට ඉඩ දීම රජයේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ඔවුන් විසින් අවධාරණය කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මෙම වෛද්‍ය මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයකු ප්‍රකාශ කළේ රජයේ නායකයන් පවා නොදැන මෙම වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අදාළ විශ්ව විද්‍යාලයයේ පරිපාලනය විසින් ගනු ලැබ ඇති බවට තොරතුරු අනාවරණය වූ බවය.

කෙසේ වුවද ඒ වන විට විදේශගතව සිටි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සද සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඔහු තවදුරටත් පැවැසීය.

– ඉරිදා මව්ව්බිම

Leave a Comment

Powered by Blogger.