Header Ads

Breaking News
recent

“සිරිලක නොබෝසත්හු නොරඡ්වන්හ” අපේ සම්ප්‍රදායට පන පෙවීමට මහා සංඝරත්නයට ආරාධනා: “කසාවතයි මගේ රටයි” අධිෂ්ඨාන පෙළහර මාගම්පුරයෙන් ඇරඹේ…

“මගේ රටයි-කසාවතයි” මහ සඟ සමුළුව ඊයේ සවස තංගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි. රටට නායකයන් බිහි කිරීමේ දී මහා සංඝ රත්නයේ ඓතිහාසික කාර්යභාරය සිහිපත් කරමින් ඒ ඇගයීමත්, යලි ඒ කටයුත්තට මහා සංඝ රත්නයට ආරාධනා කිරීමත් අරමුණු කර පැවති මේ සමුළුවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝ රත්නය සහ ආරාධිත ගිහි ප්‍රභූන් රැසක් සහභාගී වූහ.

තංගල්ලේ ගෝතම ස්වාමීන්වහන්සේ පිළිගැනීමේ කතාව සිදු කල අතර හම්බන්තොට දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ගලපිටගල ප්‍රේමරත්න හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පැවිදි දේශන සිදු කළහ. මහාචාර්ය චන්න ජයසුමන සහ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ගිහි දෙසුම් පැවැත්වූහ. රට දැය වෙනුවෙන් දිවිපිදූ රණ විරුවන් උදෙසා පැන් වඩා පුණ්‍යානුමෝදනාවක්ද සිදු කෙරුණි.

මහාචාර්ය චන්න ජයසුමන මහතා SOFA/ACSA/MCC තුන් ඈදුතු ගිවිසුම් මගින් රටට සිදුවන හානිය සවිස්තරව පැහැදිලි කළේය. හයවන මිහිදු රජතුමන්ගේ අභයගිරි සෙල්ලිපියේ සදහන්වන “සිරිලක නොබෝසත්හු නොරඡ්වන්හ” පාඨය උදෘත කර යලි මෙරටට නායකයකු බිහි කිරීමට අප්‍රමාදීයව කටයුතු සම්පාදනය කරන මෙන් මහා සංඝරත්නයෙන් ඒ මහතා අයැද සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පැවැසුවේ දුටුගැමුණු, වළගම්බා, විජයබා මහා විරුවන් මෙන්ම සුබ-යස වැනි විහිලුකාරයන්ද එක්කෙනකු දෙන්නකු සිංහල රාජාවලියේ දැක ගත හැකි බවයි. “යස” දොරටුපාලයා වංචාවෙන් රාජ්‍ය ලබාගෙන සයවසරක් සිරිලක පාලනය කල බවත් එසේ වූ පමණින් දිගටම යසලාට රට නොගිය බවත් ඊලග වතාවේ ඒ වරද නිවැරදි කර ගත බවත්ය. ගලපිටගල ප්‍රේමරත්න නායක ස්වාමීන්වහන්සේ පැවසුවේ රුහුණේ මහා සංඝරත්නය සියවස් 20 වැඩි කලක් ජාතියට නිවැරදි අපරාජිත නායකයන් බිහිකළ බවත් ඒ වගකීම මෙවරද උන්වහන්සේලා පැහැර නොහරින බවත්ය.

– තංගල්ලේ උපුල් ධීරසේක

No comments:

Powered by Blogger.