කාටද මොකාටද කියලා බලන්නෙ නැතිව මම කොටාගෙන කොටාගෙන ගියා - වයික්කාල ද්විත්ව මිනීමැරුමේ සැකකරුගෙන් පාපොච්චාරණය
මම ලක්ෂ 25 ක් වියදම් කර හදපු කඩේ ඉවත් කරන්න හේමන්තගේ පවුලේ අය කරන දේවල් දැකලා මම පීඩනයට ලක්වෙලා හිටියේ. හේමන්තගෙන් පළිගන්න කඩුව අරන් එයාලගේ ගෙදරට ගිහින් කාටද, මොකාටද කියලා බැලුවේ නෑ. මම කොටාගෙන ගියා.
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක සිටි දරුවන් දෙදෙනකු 27 දා පෙරවරුවේ කඩුවකින් කපා ඝාතනය කළ සිද්ධියේ සැකකරු වන වයික්කාල පදිංචි වර්ණකුලසූරිය මිගෙල් කුට්ටිගේ ඉෂාන් සුදීප ප්‍රනාන්දු නමැත්තා 28 දා විශේෂ ඉල්ලීමක් කරමින් මාරවිල මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ එදින පස්වරුවේ පාපොච්චාරණයක් සිදු කරන ලදී.
මෙම සිද්ධියෙන් මියගියේ 19 හැවිරිදි ගාල්ලපතිරණගේ ගිම්හාරි නිෂේලි රූපසිංහ සහ 8 හැවිරිදි සිසුවකු වූ සහන් මෙත්සර රූපසිංහ යන අක්කා මලෝ දෙදෙනෙකි.
එදින උසාවියේ පැවති සියලු නඩු විමසා අවසන් කර නීතිඥවරුන් කිහිපදෙනකු, පොලිස් නිලධාරීන්a හා උසාවි නිලධාරීන් කිහිපදෙනකු ඉදිරියේ මෙම පාපොච්චාරණය සිදු කිරීමට කටයුතු යොදා තිබූ අතර, උසාවි ඉහළ මහලේ දොරටු වසා තැබිණි. සැකකරු විත්ති කූඩුවේ සිටී.
විනිසුරු - මෙම පාපොච්චාරණය කරන්නේ කාගේ හරි බලපෑමකින්ද?
සැකකරු - නැත ස්වාමීනි, මගේ කැමැත්තෙන්.
විනිසුරු - පොලිසියෙන් බලපෑමක් කළාද? තමා නැවත පොලිසියට බාර දෙන්නේ නෑ.
සැකකරු - නැත ස්වාමීනී.
විනිසුරු -එහෙමනම් හයියෙන් කියන්න තියෙන දේ කියන්න.
සැකකරු - මාගේ බිරිඳගේ ඉඩමක් විකුණලා මේ කැන්ටින් ව්‍යාපාරය පටන්ගත්තා. අසල නිවසේ පදිංචි අයගෙන් මට දිගින් දිගටම බලපෑම් ඇති වුණා. මම ව්‍යාපාරය කරන්න ගත්තේ ඕන වෙලාවක ගලවාගෙන යන්න පුළුවක් කන්ටේනර් පෙට්ටියකයි. මේ නිසා ලිත අනුමැතියක් කාගෙන්වත් ගත්තේ නෑ.
මේවාට අනුමැතිය ගන්න ඕනා කියා දැනගත් පසුව ප්‍රාදේශීය සභාවට, ආර්ඩී එකට මට විරුද්ධව පැමිණිලි කරලා තිබුණා, තේ කඩය එතැනින් ඉවත් කරන්න කියලා බලපෑම් කළා.
මේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 25 ක මුදලක් බිරිඳගේ ඉඩම විකුණලා යෙදෙව්වා. මට ව්‍යාපාරය නවත්වන්න අමාරුයි. පසුගිය මාස දෙක ඇතුළත මගේ අම්මාට, බිරිඳට මට දැඩි මානසික පීඩනයක්, කම්පනයක් මේ අය ඇති කළා. මගේ කන්ටේනර් එකෙන් එන වතුර ඉවත්ව යන විදියට පීලි දමා හදලා තිබුණේ, ඒත් ඒක මදි වුණා.
මගේ ව්‍යාපාරය අල්ලපු ගෙදරට කරදරයක් කියා ප්‍රාදේශීය සභාවට පැමිණිලි කළ නිසා ජීවන් කියන ටී. ඕ. මහත්තයා ඇවිත් බැලුවා. ඔවුනුත් මට බලපෑම් කළා. මම සාධාරණයක් ඉල්ලුවා. මම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට කියා මෙය දිගටම කරගෙන යනවා. කට වචනෙන් කියා තිබුණේ. ලිතව දුන්නේ නෑ. ඒ ගැන මගේ දුරකථනයේ රෙකෝඩ් කර තිබෙනවා. මට අද (27 දා) සභාපතිතුමා පරීක්ෂණයකට සභාවට එන්න කියා තිබුණා. 26 දා රාත්‍රි කඩේ ඉස්සරහා තිබුණු කුණුබක්කි පෙරළා දමා තිබුණු එක බලන්න හේමන්තගේ බිරිඳ ඇවිත් කුණුවලට පයින් ගසා ජංගම දුරකථනයෙන් ෙµdටෝ ගෙන තිබුණා. ඊට දවස් තුනකට කලින් මම වෙන්නප්පුව පොලිසියේ අයි. පී. ලියනගේ මහත්තයා සමඟ සාකච්ඡා කර මගේ මතු ආරක්ෂාවට පැමිණිල්ලක් දැම්මා.
කුණු බක්කි සිද්ධියෙන් පස්සේ මම 119 ටත් පොලිසියේ ලෑන්ඩ් ෙµdaන් එකටත් කෝල් කරලා පැමිණිල්ලක් දාන්න ගියා. එතකොට අම්මා කෝල් කරලා කිව්වා පොලිසිය ගෙදර ඇවිත් කියලා. මම කිව්වේ විනාඩි 05 කින් එනවා කියලා. ගෙදර යද්දී එයාලා ගිහිල්ලා. එයාලා අම්මාට කිව්වලු පාරට කුණු දාලා ප්‍රශ්නයක් ඇති වුණොත් රුපියල් 18,000 දඩයක් නියම කරනවා කියලා.
මම ලක්ෂ 25 ක් වියදම් කරලා ඉදිකළ ගොඩනැඟිල්ල වෙනස් කරන්න වෙන්නේ අල්ලපු නිවසට කුලියට ඇවිත් ඉන්න ප්‍රියංගි සහ අයිතිකාර හේමන්තත් නිල්මිණීගේත් වැරදි වැටහීම නිසා බව මට හිතුණා. මට පළිගන්න හිතුනා.
මට ඒ වෙලාවේ ආපු කේන්තිය නිසා මගේ නිවසේ තිබුණු කඩුවත් රැගෙන ඔවුන්ගේ නිවසට ගියා. මම මිනීමැරීමේ ෙච්තනාවෙන් නෙවෙයි එතෙන්ට ගියේ. ඒත් එතෙන්ට යද්දී මට කේන්තිය දරා ගන්න බැරි වුණා.
හේමන්තගෙන් පළිගන්න ගිය මම ඔවුන්ගේ දරුවන් ඉදිරියට ආ නිසා මට මගේ කේන්තිය පාලනය කරගන්න නොහැකි වුණා. මම කොටලා දැම්මා. කාට කෙටුවද, මොකටද කෙටුවේ කියා මම දන්නේ නෑ. මම කඩුවත් අරන් ඉස්සරහ පාරට දුවගෙන ආවා. ප්‍රිsයංගිලා කුලියට අරන් තියෙන ගෙදරට ගිහින් උරහිසින් දොරට පහර දුන්නා. ඇය ඉන්නවද කියා නිරීක්ෂණය කළා. ඇය හිටියේ නැති නිසා හැරිලා එන විට ගේට්ටුව ළඟ හිටපු දෙතුන් දෙනෙක් කඩුව ඉල්ලුවා. මම කඩුව කාටවත් දුන්නේ නෑ. මම නැවත කඩේ ගාවට ආ විට මගේ අතින් කඩුව කවුරු හරි උදුරා ගත්තා. සෙනඟ 150 - 200 විතර හිටියා. කවුද කඩුව ගත්තේ කියා දන්නේ නෑ.
ඒ වන විට ඇඳන් හිටියේ ඩෙනිමයි, ටීෂර්ට් එකයි. ඊට උඩින් ෂර්ට් එකක් ඇඳන් මම නිවස අසල ග්‍රීල් වැඩපළේ අයකු සමඟ පැමිණ පොලිසියට බාර වුණා.
මගේ බිරිඳ ළඟ සාක්ෂි තියෙන ජංගම දුරකථනය තියෙනවා. ඇඳුම්, අයිඩෙන්ටි, වටිනා කියන දේවල් ගෙදර තියෙනවා. ඒවා දැන් ගන්න යන්න විදියක් නෑ. මගේ බිරිඳට, ඥාතීන්ට ඒවා ගන්න නිවසට යන්න පොලිස් ආරක්ෂාව සපයන්න කියා මම ඉල්ලනවා.
විනිසුරු - අසල්වාසී දරුවන්ගේ අවමඟුල් කටයුතු අවසන් වූ පසුව නිවසට ඥාතීන්ට යැමට පුළුවන්.
ඒ අවස්ථාවේ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් අමතා ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කෙරිණි.
සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි අතර, උසාවි කටයුතු සඳහා සැකකරුගේ පාපොච්චාරණ අවස්ථාවට නීතිඥ නිලංග හෙට්ටිආරච්චි මහතා උසාවියට සහාය දැක්වීය. සැකකරු සැප්තැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක යසරත්න විඡේසේකර, පොලිස් පරීක්ෂක යසන්ත වීරසේකර යන මහත්වරු ප්රමුඛ නිලධාරීහු රැසක් මෙහි විමර්ශන කටයුතු සිදු කළ අතර, සැරයන් (31631) කරුණාරත්න සැකකරු උසාවි ගත කිරීමට කටයුතු කර තිබුණි.
No comments: