Header Ads

Breaking News
recent

ශ්‍රීපාදස්ථානයේ ආන්දෝලනාත්මක ඝාණ්ඨාරය පිළිබඳ විශේෂ හෙළිදරව්ව

ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ මූලික නියමුවා වන්නේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය.1994 වසරේ සිට එතුමාගේ හිතේ තිබූ මෙම අදහසට එවකට සිටි නාහිමි- වරුන්ගෙන් අනුමැතිය නොලැබුනත් රජයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු ජේ.එම්.එස් බණ්ඩාර මහතාගේ උපදෙස් හා සහයෝගය මත වර්තමාන ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ආශිර්වාදයෙන් ක්‍රියාවට නැංවීමට හැකිවිය.
ඒ අනුව 2012 නොවැම්බර් මස 26 වන දින තුසිත විජයසේන මහතා ඇතුලු පනහකට අධික පිරිසක් මූලික ස්ථානීය පරික්ෂාවක් සදහා ශ්‍රීපාදස්ථානය කරුනා කරන්නට විය.මෙහිදී ශ්‍රී පාදස්ථානයේ දොලොස්මහේ පහන දැඩි ලෙස අබලන්වී තිබීම,ඝණ්ඨාරය හා එම කුළුණ විනාශවී අබලන්ව පැවතීම, සලපතල මළුවේ පෞරාණික බව කෙලසමින් ටෙරාසෝ අතුරා තිබීම හා විදුලි ආලෝක පද්ධතිය අභාවයට ගොස් ඇති අයුරු නිරීක්ෂනය කිරීමට හැකි විය.

ඒ අනුව ශ්‍රී පාදස්ථාන සලපතල මළුවේ ස්වභාවික ගල් ඇතිරීමටත්,අලුතින් ශෛලමය දොලොස්මහේ පහනක් ,කොප්පරා පහනක්,ඒ වටා නව පියැසි දෙකක් ,නව ඝණ්ඨාරයක් සහිත ශෛලමය ඝණ්ඨාර කුළුණක්,සළපතල මළුවේ ප්‍රාකාරය වටා ස්වභාවික කලුගල් ඇල්ලීමටත්,නවීනතම විදුලි ආලෝක පද්ධතියක් සවිකිරීමටත් තීරණය කරන ලදී.


මේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරන නිලධාරින් ලෙස රජයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු ජේ එම් එස් බණ්ඩාර මහතාවත්, කැන්ඩි සිටි සෙන්ටර් කාර්ය්‍ය මණ්ඩලය නියෝජනය කරමින් නුවන් පළිහවඩන මහතාවත් පත්කරන ලද්දේ තුසිත විජයසේන මහතා විසින්මය.

නව දොලොස් මහේ පහන හා කොප්පරා පහන කළුගල් අතර වඩා ශක්තිමත් කළුගල ලෙස සැලකෙන වග ගලෙන් නිර්මානය කිරීමටත්,ශක්තිමත් ශෛලමය ඝණ්ඨාර කුළුණක් සහ කෙතරම් භාවිතා කලත් ගෙවී නොයන විශේෂිත ලෝහයකින් නිර්මාණය කරන ලද ඝණ්ඨාරයත්, සළපතල මළුවේ පෞරාණික බව රැකෙන ආකාරයෙන් ස්වභාවික ගල් ඇල්ලීමත්, දැවයෙන් නිර්මාණය කරන ලද පියැසි දෙක ශක්තිමත් කොස් ලීයෙන් ඉදිකිරීමටත් කොන්ත්‍රාත් පදනම මත බාර දෙන ලදී.මීට අමතරව විදුලි ආලෝක පද්ධතියට අවශ්‍ය පහන් කණු හා පහන් විදේශයකින් ආනයනය කිරීමටද තීරණය කරන ලදී.

ඒ අනුව 2012 වසරේ දෙසැම්බර් මස 16 වන දින යෙදුනු සුබ මොහොතින් මෙම ව්‍යාපෘතියට මුල් ගල තබන ලදී.එතැන් පටන් කාළගුණයෙන් වූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් විඳදරා ගනිමින් කුලී කරුවන්ගේ ද සිවිල් ආරක්ෂක අංශයේ සාමාජිකයන්ගේද, යුදහමුදාවේ භටයන්ගේද සහයෝගයෙන් ඔවුන්ගේ කර මතින් ඉහල මළුව වෙත සිමෙන්ති කොට්ට,වැලී,කොන්ක්‍රීට් ගල්,උළු කැට,කළුගල් කැට ගෙනයාමට අපට හැකි විය.

මෙම ව්‍යාපෘතියේ තවත් විශාලතම අභියෝගය වූයේ ඉතා විශාල බරින් යුක්ත ශෛලමය කොටස් ඉහල මළුව වෙත ගෙන යාමයි.ඒ අනුව ඒ සදහා ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටරය භාවිතයෙන් 2014 ජනවාරි මස 01 දින සිට පුරා දින නවයක් තිස්සේ අති විශාල බර ප්‍රමාණයකින් යුතු සියලුම ඉදිකිරීම් දව්‍ය ශ්‍රී පාද ඉහල මළුවට ගෙනයන ලදී.මේ සඳහා ගුවන් හමුදාවට ඒ වෙනුවෙන් කල සේවයට සම්පුර්න පිරිවැය ගෙවිමට තුසිත විජයසේන මහතා කටයුතු කරන ලදී.

සළපතල මළුව වෙත එසේ ගුවනින් ගෙනෙන ලද දොලොස්මහේ පහන හා කොප්පරා පහන ඉදිකිරීමත්,පැරණි දොලොස්මහේ පහන පිරිසිදු කර ඒ ආසන්නයේම නැවත ස්ථානගත කිරීමත්,උළු සෙවිලි කරනලද ඓතිහාසික ඇම්බැක්කේ ලී කැටයම් ගුරු කරගනිමින් දැවයෙන් නිමකරන ලද අලංකාර පියැසි දෙක ඉදිකිරීමත් සිදුකල අතර ශෛලමය ඝණ්ටාර කුළුන හා ශක්තිමත් ඝණ්ඨාරය ස්ථානගත කිරීමත්,පැරණි ඝණ්ඨාරය ඒ අසලින්ම එල්ලා තැබීමත් ,සලපතල මළුවේ ස්වභාවික ගල් ඇතිරීමත්,නවීනතම විදුලි ආලෝක පද්ධතිය ස්ථානගත කිරීමත්,සවිමත් යකඩ ගේට්ටු තුනක් සවිකිරීමත් ලහිලහියේ සිදු වුනා.

මේ සියල්ල තුසිත විජයසේන මහතාගේ උපදෙස් මත එතුමාගේ කාර්ය්‍ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් ඉතාමත් දුෂ්කර කාලගුණික තත්වයන් යටතේ ඉතාමත් වෙර වෑයමෙන් කණ්ඩායම් හැගීමෙන් සිදුවුනු අතර හැමදෙනාගේම ශක්තියෙන් 2014 පෙබරවාරි මස 07 වෙනි දින ඉතා උත්සවාකාරයෙන් එවකට අස්ගිරි පාර්ශවයේ ගෞරවනීය මහානායක උඩුගම බුද්ධරක්ඛිත නාහිමියන්ගේ හා ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ මූලිකත්වයෙන් විවෘත කරනු ලැබුවා.මේ අවස්ථාවට රජය නියෝජනය කරමින් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ අතර ත්‍රිවිධ හමුදාපති වරුන් ද, මහා සංඝරත්නය නියෝජනය කරමින් අස්ගිරි මල්වතු විහාරයේ අනුනායක හිමිවරුන්,කාරක සභික නාහිමිවරුන් හා කොළඹ ගංගාරාම විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන රාශියක පන්සීයකට අධික භික්ෂුන් වහන්සේලාද සහභාගි වුනා.තවද එවකට රාජ්‍ය නායකයාව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවනින් පැමින ශ්‍රීපාදස්ථානයට මල් ඉස ආශිර්වාද ලබා ගත්තා.


මීට අමතර ඉපැරණි රජදරුවන් අනුව යමින් එකල උතුම් සිරිපතුල වෙත පුදපූජා පැවැත්වූ ආකාරයට රනින් නිමවන ලද පූජාභාණ්ඩ කට්ටලයක් පූජා කිරීමටද තුසිත විජයසේන මැතිතුමා සහ එම මැතිණිය කටයුතු කරනු ලැබුවා.

විශේෂයෙන්ම සඳහන් කලයුතු වන්නේ මේ ව්‍යාපෘතිය සඳහා රජය කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ අතර ලබාගන්නා ලද සියලු සේවාවන් සඳහා නියමිත පරිදි මුදල් ගෙවන ලද බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේදී ශ්‍රීපාදස්ථානයේ අතීත ශ්‍රී විභූතියට හා ඒ අවට ස්වභාවික පරිසරයට කිසිදු හානියක් නොවන පරිද්දෙන් සිදුකිරීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් විය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා එවකට සිවිල් ආරක්ෂක බළකා ප්‍රධානී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා,හිටපු යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා,මේජර් ජෙනරල් මැදවල මහතා, එවකට ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා හා මෙහෙයුම් අධ්‍යක්ෂව සිටි එයාර් වයිස් මාෂල් ගගන බුලත්සිංහල මහතා,ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරි කර්නල් ලලන්ත ගම්ලත් මහතා,නල්ලතන්නිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා, එහි සේවය කල එස් එච් පාරුක් මහතා, පොලිස් පරීක්ෂක මනොජ් දිසානායක මහතා, හිටපු බස්නායක නිලමේ සුනිල් වීරසේකර මහතා සහ කපිතාන් නිශාන්ත කොග්ගල ලියනගේ මහතා වැනි ශාසන ලැදි පිරිසකගෙන් ලැබුනු සේවය විශේෂයෙන් සඳහන් කල යුතුමය.

කවුරුන් කෙසේ කීවත් මෙම ව්‍යාපෘතිය සිදුකලේ තුසිත විජයසේන මැතිතුමාගේත් එම මැතිණියගේත් ශ්‍රීපාදස්ථානය උදෙසා වූ අතිශය ගෞරවය හා භක්තිය නිසාමය.මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස ශ්‍රීපාදස්ථාන උඩ මළුවේ සිදුවී ඇති බව එහි කරුනා කරන ඕනෑම කෙනෙකුට හේතු සාධක ඇතිව අදද දක්නට ලැබේ.මෙම දැවැන්ත ව්‍යාපෘතිය කොතරම් දුෂ්කර වීදයත් අද ඒ දෙස ආපසු හැරී බැලීමේදී මෙවැනි කාර්යක් සිදුකිරීමට හැකිවීම අතිශයින් පුදුම සහගතය.එහෙයින් ශ්‍රීපාදස්ථානය වෙත නොගොස් අසත්‍ය ප්‍රචාරය කරමින් සත්‍ය තත්වය විකෘති කරන පුද්ගලයන් පිළිබද කනගාටු වන අතර ශ්‍රීපාදස්ථානය කරුනාකර සත්‍ය තත්වය වටහාගන්නා ලෙස දන්වා සිටිමු.

මීට වසර පහකට පෙර සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය පිළිබඳ යලි මෙවැන්නක් ලිවීමට අදහස් කලේ මේ දිනවල මේම ව්‍යාපෘතිය අළලා දේශපාලන වේදිකාවේ පැතිර යන අභූත චෝදනා හේතුවෙන් නිසා බවත් තුසිත විජයසේන මහතා දිවයින පුරාම පිහිටි සිද්ධස්ථාන රාශියක් ප්‍රතිසංස්කරණය කර ඇතත් ප්‍රතිපත්තියක් වශයෙන් කිසිදු ප්‍රචාරයක් හෝ ප්‍රසිද්ධියක් ලැබීමට අකමැති බව අවසාන වශයෙන් සඳහන් කල යුතුමය

No comments:

Powered by Blogger.