Header Ads

Breaking News
recent

ඉන්දියාවට ගෙවන්න තියන ණය වසර තුනකට අත්හිටුවන්නැයි ඉන්දීයානු රජයෙන් අගමැති ඉල්ලයි


ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර තුනකට අත්හිටුවන්නැයි ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ආපසු අය කර ගැනීම වසර තුනකට අත්හිටුවන්න ලෙස අග්‍රාමාත්‍ය වරයා  ඉන්දීයානු රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

යම් හෙයකින් ඉන්දීය රජය එවැනි පියවරක් ගතහොත්, චීනය ඇතුළු අනෙකුත් විදෙස් රාජ්‍යයන් ද එවැනි ක්‍රියාමාර්ගයකට එකඟ වනු ඇතැයි, අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.

මේ වසර තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය සේවා ගෙවීම වන බිලියන 5 ක ණය සේවා ගෙවීම පිළිබඳව ද ද හින්දු පුවත්පත අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

කුමන තත්ත්වයක් යටතේ වුව ද ණය ගෙවීම් පැහැර නොහැර එය කළමනාකරණය කර ගන්නා බවට මහින්ද රාජපකෂ මහතා සහතික වී තිබේ.

2017 වසරේදී ඉකුත් රජය ඉන්දියාව සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් පිළිබඳවද හින්දු පුවත්පත අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා නොකළ බවත්, ඉන්දියාව – ජපානය ඒකාබද්ධව ආයෝජනය කරනු ලබන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ එල් එන් ජී පර්යන්තය පිළිබඳව සාකච්ඡා කළ බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2017 වසරේ පසුගිය රජය අත්සන් කරන ලද ගිවිසුම් එම රජයම ඉදිරියට ගෙන නොගිය බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කරන ලද සියලු ගිවිසුම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළ බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ය.

ඔහු අවධාරණය කළේ, එම ව්‍යාපෘති පිළිබඳව තමන් වග නොකියන බවයි.

මත්තල ගුවන් තොටුපළ ව්‍යාපෘතියද ඉවත් කර ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජාතික සම්පත් විදෙස් පාලනයකට නතු කිරීමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක් තම රජයට ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ ය.

ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගිතා කටයුතු පිළිබඳව ද හින්දු පුවත්පත මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම හා ඉන්දියාවෙන් පුහුණුව හා තාක්ෂණික සහය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.

දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව හින්දු පුවත්පත අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

2009 වසරේ යුද්ධය අවසන්වීමෙන් පසු මැතිවරණ පවත්වමින් උතුරේ ජනතාවට තමන්ගේ ප්‍රධාන අමාත්‍යවරයකු පත් කර ගැනීමට අවස්ථාව ලබාදුන් බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ය.

ඔහු පෙන්වා දුන්නේ එම මැතිවරණයෙන් පරාජය වන බව දැන දැනම තමන් එම මැතිවරණ පැවැත්වූ බවයි.

එම මැතිවරණයෙන් පසු කිසිවක් ඉදිරියට ක්‍රියාත්මක වී නැතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ලබන අප්‍රේල් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

අනතුරුව පළාත් සභා මැතිවරණය පවත්වනු ඇති.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි වරානසී නගරයට ළඟා විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ වාරානසී වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා කාශි විශ්වනාත් සිද්ධස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත් බවයි.

No comments:

Powered by Blogger.